යුපුන්, නිලානි සහ ගයන්තිකා ලෝක ශූරතාවයට

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2022

1353

මෙම වසරේ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට නිල වශයෙන් සුදුසුකම් ලබා ගැනීමට යුපුන් අබේකෝන්, ගයන්තිකා අබේරත්න සහ නිලානි රත්නායකට හැකිව තිබෙනවා.

එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම් පසුකිරීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි වූවත්, ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම ඔස්සේ අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තුළ දැක්වූ දස්කම් මත එම ශ්‍රේණිගත කිරීම නිර්මාණය වූ අතර 2021 වසරේ ජුනි 28 සිට මෙම වසරේ ජුනි 26 දක්වා එම කාලසීමාව ක්‍රියාත්මක වුනා.

යුපුන් අබේකෝන් – පිරිමි 100m

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 1239ක් සමඟ 42 වැන්නා බවට පත්වෙමිනුයි. එම ඉසව්වට සුදුසුකම් ලැබූ මුළු ක්‍රීඩකයින් ගණන 48ක්.

මෑත කාලයේ දී කෙටිදුර ධාවනයේ ඉහළ දස්කම්  දැක්වූ යුපුන් පසුගිය වසරේ පැවති ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්ව නියෝජනය කරන්නට ද සමත් වුනා.

එමෙන්ම මෙම වසරේ ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් තමන්ගේම දකුණු ආසියානු වාර්තාව අලුත් කළ අතර ඔහු සුළඟේ සහය පැවති අවස්ථාවක දී ඉසව්ව තත්පර 10.04ක කාලයකින් අවසන් කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

නිලානි රත්නායක – කාන්තා මීටර් 3000 බාධක දිවීම

ක්‍රීඩිකාවන් 45 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා මෙම ඉසව්ව සඳහා නිලානි රත්නායක සුදුසුකම් ලැබුවේ 38 වැන්නා ලෙසයි. ඇයට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1185ක්.

කාන්තා මීටර් 3000 ඉසව්වේ දීර්ඝ කාලීන ජාතික ශූරිය වූ නිලානි ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කිහිපයක්ම මෙරටට දායක කළ ක්‍රීඩිකාවක් වන අතර ඇයට පසුගිය වසරේ පැවති ඔලිම්පික් උළෙල අහිමි වුනේ ඉතා අවාසනාවන්ත ලෙස අවසන් මොහොතේ දීයි.

පසුව ආබාධයක් නිසා ද පීඩා විඳි ඇය එම අභියෝග සියල්ල ජය ගනිමින් මෙම වසරේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර මීටර් 3000 බාධක ඉසව්ව මිනිත්තු 9:40.24ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාවක් පවා පිහිටුවන්නට ඇය සමත් වුනා.

ගයන්තිකා අබේරත්න – කාන්තා මීටර් 800

ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගත් මෙම ඉසව්වට ප්‍රසාද ලකුණු 1161ක් සමඟ 46 වැන්නා ලෙසින් සුදුසුකම් ලබා ගැනීමට ගයන්තිකා අබේරත්නට හැකි වුනා.

මීටර් 800 ඉසව්ව සඳහා මෙරට බිහි වූ දක්ෂතම ක්‍රීඩිකාවක් වන ගයන්තිකා එම ඉසව්වේ ආසියානු පදක්කම් ලාභියෙකු  වීම ද විශේෂත්වයක්.

මෙම වසරේ දී මීටර් 800 ඉසව්වට වැඩි අවධානයක් ලබා දුන් ඇය අප්‍රේල් මාසයේ දී මිනිත්තු 2:01.44ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එහි ජාතික වාර්තාව බිඳ හෙළු අතර ජුනි මාසයේ දී යුරෝපා සංචාරයකට ද ඇය එක්වුනා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා ලෝක ශ්‍රේණිගත කිරීමේ සුදුසුකම් ලබා ගැනීමේ සීමාවේ පසුවූවත් ඇයට අවසාන මොහොතේ එය අහිමිව ගියේ ප්‍රසාද ලකුණු 6ක වෙනසකින්.

එමෙන්ම බලාපොරොත්තු සහගත ක්‍රීඩකයෙකු වූ උෂාන් තිවංක හට අවශ්‍ය තරගාවලි නොලැබීම නිසාවෙන් ලෝක ශූරතාවය අහිමි වෙද්දී, මෙම වසරේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සුමේධ රණසිංහ හට ද ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීම ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වී ගියා.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ජූලි 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහි දී ඉහළ දස්කම් දක්වමින් ලක්මාතාවට කීර්තියක් ගෙන ඒමට මේ සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වේවායි ThePapare.com ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<