ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියත් නැවත පැවැත්වීම අසීරුයි

541
ICC Test Championship
(outlookindia)

වත්මන් ICC ලෝක ටෙස්ට් ශූරතා චක්‍රය දිගු නොකළොත් බංග්ලාදේශයට පවත්වන්නට නොහැකි වුන ටෙස්ට් තරග නැවත පැවැත්වීමට ඉඩක් නැතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා.

COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා ඔවුන්ට පවත්වන්නට නොහැකි වුණු ටෙස්ට් තරග ගණන අටක්. අවසන් වරට මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා සංචාරයත් අවලංගු කරන්නට ක්‍රිකට් පාලක මණ්ඩල දෙකම තීරණය කළා.

අප්‍රේල් මාසයේ දී පාකිස්තානයට එරෙහිව පවත්වන්නට නියමිතව තිබූ ටෙස්ට් තරගය, ජුනි මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පවත්වන්නට නියමිතව තිබුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හා ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියක් මෙලෙස අතහැර දමන්නට බංග්ලාදේශයට සිදු වුනා.

මෙම තරග අටම ICC ටෙස්ට් ශූරතාවලියට අදාළ තරග වුන අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ICC ටෙස්ට් ශූරතාවලිය නිල වශයෙන් ආරම්භ වුනා.

පාකිස්තානය කොරෝනා හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයින්ට හරියට සලකන්නේ නැහැ – ඉන්සමාම්

COVID-19 වැලඳුණු ක්‍රීඩකයින් පරිපාලනය කිරීමේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක

“ICC ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු චක්‍රයට නියමිත කාලය දිගු නොකළොත් අහිමි වුන ටෙස්ට් තරග අට ක්‍රීඩා කරන්නට ඉඩක් නම් ලැබෙන්නේ නැහැ” බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති අක්‍රම ඛාන් Cricbuzz වෙත පවසා සිටියා. “අපි ICC එක ටෙස්ට් ශුරතාවලියේ කාල රාමුව සම්බන්ධයෙන් මොනවද කරන්නේ කියලා බලන් ඉන්නවා.”

දකුණු අප්‍රිකාවේ එක්සත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එවකට සිටි Ali Bacher, ක්ලයිව් ලොයිඩ් හා හිටපු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන අරීෆ් අලී අබ්බාසි ටෙස්ට් ලෝක කුසලානයක් යෝජනා කර තිබුණේ මීට වසර 22කට පෙරයි. 

ඉන්පසුව දෙවතාවක් පමණ විවිධ පුද්ගලයින් ටෙස්ට් ලෝක කුසලානයක් ක්‍රියාත්මක කරන්නට උත්සහ කළත් ඔවුන්ගේ එම උත්සාහයන් සාර්ථක වුනේ නැහැ. වසර දෙකක චක්‍රයකට අදාළ වන සේ 2019 අගෝස්තු මාසයේ  අළුබඳුන තරගාවලියෙන් පළමු වරට ICC ටෙස්ට් ලෝක ශුරතාවයක් ආරම්භ කරන්නට ICCය පියවර ගත්තා.

ලෝක ටෙස්ට් ශුරතාවයට ටෙස්ට් තත්වය හිමි රටවල්වලින් පළමු රටවල් නවය සහභාගී වන අතර වසර දෙකක කාලයක් තුළ එම කණ්ඩායම් දෙක එකිනෙකා හා තරග කිරීමට නියමිතයි. මේ වසර දෙකක කාලය තුළ ටෙස්ට් තරග 71ක් ක්‍රියාත්මක වන තරගාවලි 27ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

වසර දෙක අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයක් ක්‍රීඩා කර ICC ටෙස්ට් ශූරතාවයේ පළමු අදියරේ ජයග්‍රාහකයින් තීරණය කරනු ඇත. 2019 ජූලි 16 දා ආරම්භ වුණු තරගාවලිය අවසන් වන්නට නියමිතව තිබෙන්නේ 2021 වසරේ මාර්තු 31 වැනිදායි.

විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල රනින්

කෙසේ වෙතත් පවතින වසංගත තත්වය නිසා මේ සැලසුම් සියල්ල අතරමඟ නැවතී තිබෙනවා. එංගලන්ත බටහිර කොදෙව් තරගාවලිය එළඹෙන සතියේ දී ආරම්භ වුනත් බංග්ලාදේශය තුළ දරුණු ලෙස කොරෝනා ව්‍යාප්තිය තවමත් පවතින නිසා ඔවුන්ට ක්‍රීඩාව ආරම්භ කිරීමට තවත් කල් ගත වීමට ඉඩ තිබෙනවා. ඩකා නුවර වයිරස ව්‍යාප්තියේ දරුණු බව නිසාම බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලස්ථානය ද වසා තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි නිසාම්උද්දීන් මහතා පවසා සිටියේ බංගලාදේශයට ඉතිරිව ඇති කාලය තුළ මගහැරුණු ටෙස්ට් තරග අට පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

“නමුත් ටෙස්ට් ශූරතාවලියේ අවසන් දින තවත් දිගු කළොත් අපිට පොඩි අවස්ථාවක් ලැබෙයි. නමුත් එහෙම වුනත් අපේ වත්මන් කාලසටහන්වල සැලකිය යුතු වෙනස්කම් රැසක් කරන්නට සිදු වෙයි. 2023 වෙනකම් අපිට හරිම කාර්යබහුල කාලසටහනක් තමයි තියෙන්නේ” ඔහු පවසා සිටියා. ඔහු තවදුරටත් පවසා සිටියේ ICC තරගාවලියක් ඉදිරියේ දී කල් දැමුනොත් මේ අවලංගු කෙරුණු ටෙස්ට් තරග ක්‍රීඩා කරන්නට ඉඩක් ලැබෙනු ඇති බවයි.

“එකම එක අවස්ථාවක් තිබෙනවා. ICC තරගාවලියක් හෝ වෙනත් ප්‍රධාන තරගාවලියක් අවලංගු වුනොත් අපිට සෙල්ලම් කරන්න බැරි වුන ටෙස්ට් තරග ඒ කාලය තුළ ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් එයත් තීරණය වෙන්නේ තරගාවලියට එක්වන අනෙක් රටේ කැමැත්ත අනුව තමයි” නිසාම්උද්දීන් මහතා පවසා සිටියා.

ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් සංචිතයෙන් ඉවත් කළේ මොන පදනමකින් ද?

Covid-19 වසංගතය නිසාවෙන් අකර්මණ්‍ය වූ ක්‍රිකට් මෙහෙයුම් පද්ධතිය යලි පණ ගන්වමින්

“ICCයට ලබන වසරේ ජුනි මාසයේ ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පවත්වන්න අවශ්‍ය වුනත් එය කරන්නට ඉතා අමාරු වෙයි. එම කාලරාමුව තුල සියලුම කණ්ඩායම්වලට සම අවස්ථා ලැබෙන්නේ නැහැ. අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ටෙස්ට් තරග තුනක් පමණක් වුනාට අනෙක් කණ්ඩායම් සමහර විට ටෙස්ට් තරග අටක් ක්‍රීඩා කරලා තියෙන්න පුළුවන්. නමුත් වත්මන් සැලැස්ම අනුව සෑම කණ්ඩායමක්ම සම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්න ඕන. ඒ දෙය කරන්න ඉතා අමාරු නිසා නියමිත කාලයේ දී ICC ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය පවත්වන එක අවිනිශ්චිතයි.”

“ICC ය තුළ විවිධ මට්ටම් වලින් විවිධ සාකච්ඡා සිදු කරනවා. එම සාකච්ඡාවලට සෑම ICC සාමාජික රටකම සාමාජිකයින් ඉන්නවා. ඒ සාකච්ඡා දිගටම පැවැත්වෙනවා. තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. ICCයේ තීරණය අනුව තමා සියල්ල තීරණය වෙන්නේ.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<