ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් සංචිතයෙන් ඉවත් කළේ මොන පදනමකින් ද?

300

Covid-19 වසංගතය නිසාවෙන් අකර්මණ්‍ය වූ ක්‍රිකට් මෙහෙයුම් පද්ධතිය යලි පණ ගන්වමින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ මාස හතරකට පසුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වන නිසාවෙනි.

පාකිස්තානය ඒ ක්‍රිකට් ක්‍රීඩකයෝ බලා ගන්න ඕන – හිටපු නායක

එංගලන්තයට එරෙහිව තරග වඳින කොදෙව් සංචිතය දැනටමත් එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර මේ දිනවල ඔවුන් කණ්ඩායමේ සංයුතිය කවර ආකාරයෙන් වෙනස් විය යුතු ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා තුන් දින පුහුණු තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවේ. 

මෙහි දී ටෙස්ට් විශේෂඥයෙකු ලෙස නම් දැරූ සුපිරි පිතිකරු ඩැරන් බ්‍රාවෝ සහ දක්ෂ නැඟී එන පිතිකරුවෙකු ලෙස විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ ෂිම්රෝන් හෙට්මයර් සංචිතය වෙත ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් යම් මතභේදාත්මක කතිකාවතක් නිර්මාණය වෙමින් තිබේ.

70 සහ 80 දශකයන්හී පිතිකරුවන් අන්ත අසරණ කරමින් බිහිසුණු පන්දු යැවීමක නිරත වූ වේගපන්දුවේ පුරාවෘත්තයන් ලෙස හැඳින්වෙන මයිකල් හෝල්ඩින්ග් සහ ඇන්ඩි රොබට්ස් දෙදෙනා ඉහත කී කාරණාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම තේරිම් කමිටුවෙන් ප්‍රශ්නකොට තිබෙන්නේ එම ක්‍රීඩකයින් දෙදෙනා කණ්ඩායමෙන් ඉවත් කළේ කුමන හේතුවක් මත ද යන පැනයට පිළිතුරක් ලබා දෙන මෙන් ඉල්ලීමක් ද සිදු කරමිනි. 

එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ක්‍රීඩක නාමලේඛනයෙහි ඇතුලත්ව සිටි හෙට්මයර් සහ බ්‍රාවෝ අවසන් මොහොතේ දී කණ්ඩායමෙන් ඉවතට ඇඳ දැමූ කාරණාව අපැහැදිලි බව ඔවුන් දෙදෙනා එහි දී පෙන්වා දෙන්නට විය.

“හෙට්මයර් සහ බ්‍රාවෝ කියන්නේ අවිවාදයෙන්ම දක්ෂ පිතිකරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ සේවය කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ශක්තිමත් කරන්න ගොඩක් උදව් වෙනවා කියලයි මට හිතෙන්නේ. හෙට්මයර්ගේ මම දකින ලොකුම දුර්වලතාවක් තමයි පන්දුව තෝරා බේරා ගන්නේ නැතුව හැමවෙලාවෙම ලොකු පහරවල් වලට යන එක. ඒ වගේ සුළු දේවල් ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන්.”

පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩබහින්න සූදානම්!

“මොනව වුනත් ඔහු අපේ පිතිකරණ අංශය භාර ගන්න ඉන්න අනාගත බලාපොරොත්තු අතරින් ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක්. ඔහු වගේම අනෙක් වගකිව යුතු පුද්ගලයිනුත් තේරුම්ගත යුතු දෙයක් තමයි ක්‍රීඩාගාරයට වෙලා ඉඳලා ලකුණු රැස් කරන්න බැහැ. ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉස්මතු කරගන්න ඒ අයට ප්‍රමාණවත් අවස්ථාවන් ලබාදීම අනිවාර්යයි.”

මයිකල් හෝල්ඩින්ග් සමඟ ඔහුගේ YouTube නාලිකාවේ ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා එක්වෙමින් රොබට්ස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොදෙව් පිතිකරුවන් තුලින් දිස්වන ප්‍රධානතම අඩුපාඩු කිහිපය අතුරින් සංයමයකින් තොරව පන්දුවට පහරදීමට උත්සාහ කිරීම, ඉතා පහසුවෙන් හිඩැස්වලට පන්දුව යොමු කරමින් කෙටි ලකුණු කරා යාමට තිබෙන අවස්ථා මඟ හැර විශාල පහරවල් කරා ගොස් කඩුල්ල පූජා කිරීම වඩාත් කැපී පෙනෙන බවයි. 

කෙසේ නමුත් අල්සාරි ජෝසෆ්, ෂැනෝන් ගේබ්‍රියෙල් සහ ඔෂේන් තෝමස් වැනි නවක වේගපන්දු යවන්නන් ඉතාමත් හොඳින් ඔවුන්ගේ කාර්‍යභාර්‍ය ඉටු කරමින් සිටින බවත්, තවමත් ඔවුන් හට දියුණු කරගත යුතු පැතිකඩයන් බොහොමයක් පවතින නිසාවෙන් ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂා කිරීම ඔවුන් හට සිදු කරන අසාධාරණයක් බව ද හෝල්ඩින්ග් එහි දී අවධාරණය කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<