සෆ්‍රාස් අහමඩ් නැවතත් කපිතාන් ධූරයට!

75

මේ මස අවසානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කිරීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස සංග්‍රාමයන් ද්විත්වය සඳහා පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ කාර්‍යභරය සුපුරුදු පරිදි නිත්‍ය නායක සෆ්‍රාස් අහමඩ් හට පැවරීමට එරට ක්‍රිකට් පාලන කමිටුව ඊයේ (13) දිනයේ දී තීරණය කොට තිබේ. 

ලාහෝර් හී ගඩාෆි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එහ්සාන් මානි මහතාගෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයන්ට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේය.

බංග්ලාදේශය අවසන් මොහොතේ සිම්බාබ්වේ මවිත කරයි

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුන අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට්….

පාකිස්තාන කණ්ඩායමේ තේරිම් කමිටු භාර ප්‍රධාන නිළධාරිවරයා මෙන්ම ජාතික කණ්ඩායමට අභිනවයෙන් පත්වූ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරන හිටපු නායක මිශ්බා උල් හක් සහ එරට ක්‍රිකට් පාලක කමිටුව යන දෙපාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශයන් සියල්ලම පාහේ සැලකිල්ලට භාජනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව ඒ මහතා වැඩිදුරත් සඳහන් කොට තිබුණි.

නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් කණ්ඩායම් හතර අතරට තේරීපත්වීමේ ඉතාමත් හොඳ අවස්ථාවක් පාකිස්තාන කණ්ඩායම සතු වූ නමුත් අවශ්‍ය මොහොතේ දී ක්‍රීඩකයින් තම වගකීම් නිවැරදිව ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අපේක්ෂා කළ ඉලක්කය කරා ගමන් කිරීමට නොහැකි විය.

මෙහි දී සෆ්‍රාස් අහමඩ් ඔහුගේ නායකත්ව භූමිකාවට නිසි සාධාරණයක් ඉටු කළා දැයි යන්න පිළිබඳ බොහෝ දෙනා තරගාවලියෙන් අනතුරුව ප්‍රශ්න කළ සිටි කාරණාවකි.

2016 වසරේ සිට මේ දක්වා විස්සයි විස්ස තරග ආකෘතියේ නායකත්වය දරමින් පාකිස්තාන කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් හී අංක එක ස්ථානය දක්වා ඔසවා තැබීම සඳහා සෆ්‍රාස්ගේ ආක්‍රමණශීලී තරග සැලසුම් රටාව බොහෝ සෙයින් ඉවහල් වූ බව නොරහසකි.

2017 වසරේ පැවති ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ දී ද තම කණ්ඩායම හැසිරවීමේ කාර්‍යභරය අකුරටම ඉටු කළ සෆ්‍රාස්, අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට වේදනාකාරී පරාජයක් අත්කර දෙමින් ශූරතාව තම මව්බිම වෙත දිනා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදි.

රතු පන්දුවට නිවාඩු දී සුදු පන්දුවෙන් වැඩ පෙන්වන්න යන වේගපන්දු යවන්නා

ගෙවුණු වසර කිහිපය පුරාවටම පාකිස්තාන වේගපන්දු බලඇණිය සවිමත් කරමින් කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේ දී තම…..

නැවත වතාවක් පාකිස්තාන ජාතික කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර වගකීම සඳහා තමන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ ඉමහත් සතුටකින් පසුවන සෆ්‍රාස් අහමඩ් මාධ්‍ය වෙත පවසා තිබුණේ මිශ්බා උල් හක් වැනි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හසල දැනුමක් ඇති හිටපු නායකයෙකුගේ මඟපෙන්වීම යටතේ තම කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට ලැබීම ඉතාමත් අනගි, කලාතුරකින් ලැබෙන අවස්ථාවක් බවයි.

“පාකිස්තාන කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ දී මෙහෙයවන්න ලැබෙනවා කියන්නේ ඒක ඉතාමත් ගෞරවනීය අවස්ථාවක්. කලින් අවස්ථාවලදීත් මම මගේ නායකත්ව වගකීම හොඳින් ඉෂ්ට කරන්න සෑහෙන කැප කිරීම් රාශියක් කරා වගේම විශාල ආයාසයක් ගත්තා. ඉතින් ඉදිරියේදීත් මගේ නායකත්ව ගුණාංගයන් තවත් දියුණු කරගෙන පාකිස්තාන කණ්ඩායම සිමීත පන්දුවාර තරග ආකෘතියෙන් ඉහළම තැනකට රැගෙන එන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.”

“මම මගේ ක්‍රීඩා ජීවිතයේ වැඩි හරියක් තරග කළේ මිශ්බාගේ මඟපෙන්වීම යටතේ. ඒ නිසා ඔහුගේ ක්‍රියාපටිපාටිය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මම විශ්වාස කරනවා ඔහුත් සමඟ අත්වැල් බැඳගනිමින් එකට වැඩකටයුතු කළොත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට විශාල සේවාවක් ඉදිරියේ දී කරන්න පුළුවන් වේවි කියලා.”

ස්කොට්ලන්තයේ පුදුම හිතෙන ලෝක කුසලාන සංචිතය

2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග, එළඹෙන…..

“පහුගිය කාලේ එක්දින තරගවල දී අපේ විශාල පසුබෑමක් තිබුණා කියන එක අපි පිලිගන්න ඕන. ඒ පිළිබඳ අපේ ප්‍රේක්ෂකයනුත් දැඩි කනස්සල්ලෙන් සහ අපේක්ෂාභංගත්වයෙන් ඉන්නේ කියලා අපිට තේරෙනවා. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි වලදී අපි මේ සියල්ල කනපිට හරවමින් පාකිස්තානය ජයග්‍රාහී මාවතට රැගෙන එන්න ගන්න පුළුවන් සෑම පියවරක්ම ගන්නවා.”

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ පාකිස්තාන කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු මිශ්බා උල් හක් මහතා ද පවසා සිටියේ පසුගිය කාලසීමාව පුරාවටම සෆ්‍රාස් කණ්ඩායම මෙහෙයවූ ආකාරය සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු මෙතෙක් පෙන්වා ඇති දක්ෂතා ආදී මිණුම් දඬු කිහිපයක් නායකත්වය නැවත වරක් ඔහු වෙත ලබා දීමට මත්තෙන් සලකා බැලූ බවයි.

“කණ්ඩායමක් විදියට අපේ සමස්ත දක්ෂතාවන් ඉහළට ඔප්නංවා ගත යුතු ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් ගෙවුණු සති දෙකක කාලසීමාව පුරාවටම මම ඔහුත් සමඟ සාකච්ඡා කළා. එහි දී අපි තේරුම් ගත්ත දෙයක් තමයි අපි මොන තරම් කැප කිරීමක් පිටියෙන් පිටත දී කරත් වැඩක් නැහැ අවසන් ප්‍රතිඵලය සතුටුදායක නැත්නම්. ඒකයි යථාර්ථය. ඉතින් අපි ඉදිරියේ දී අපි අපේ උපරිමය තරග කරන මොහොතේ දී ලබා දීලා ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් ලබා දෙන්නයි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ.”

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස තරගාවලීන් සඳහා වන 19 දෙනෙකුගෙන් සමන්විත මූලික පාකිස්තාන සංචිතය එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව තරග වඳින අවසන් සංචිතයන් සැප්තැම්බර් 23 වැනිදා නම් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරත් ඔවුන් සඳහන් කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<