ක්‍රීඩාවට රාජ්‍ය අනුග්‍රහය ඍජුවම ලැබෙනවාද?

129

ක්‍රමයෙන් රාජ්‍ය මැදිහත්වීම හරහා ක්‍රීඩාවට ලැබුණු අනුග්‍රහය පම්පෝරියකට හා ජනප්‍රිය කතාවලට පමණක් සීමා වෙමින් තිබේ. ඒ අතර කෘත්‍රිම ධාවන පථ තැනීම, නිදහස් චතුරස්‍ර (ටොරින්ටන් පිටිය) ක්‍රීඩා සංකීර්ණයක් කිරීම, නුවරඑළිය ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශයට පිහිනුම් තටාකයක් හා ගෘහස්ථ ක්‍රීඩාපිටියක් තැනීම ඒ අතර විය.

ජාත්‍යන්තර තරග රටාවේ ශ්‍රී ලංකේය අනන්‍යතාව මනාව පිළිබිඹු කළේ ජාතික ක්‍රීඩා උළෙල මඟිනි. එය විධිමත් තරග රටාවක් හරහා ඉදිරියට ගියත්, ක්‍රමයෙන් අවිධිමත්ව පැවැත්වීම තවත් ප්‍රබල දුර්වලතාවකි. ඒ තුළින් බිහි වූ ජාතික මැරතන් තරගය, රට හරහා දිවීම, රුවල් නැති නැවක් මෙන් ඒ මේ අත පාවෙමින් පවතී.

මලල ක්‍රීඩා සංගමයද ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් ප්‍රතිඵල හා රට හරහා තරගවලින් යැපුණා මිස ඔවුන් පසුගිය වසර 15 පුරා එම තරග පවත්වා නැත. ක්‍රීඩා අමාත්‍යාංශය ඊට මුණිවත රැකීම අදටත් ප්‍රහේලිකාවකි. ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂවරයා 2003 වසරේ විශ්‍රාම ගියාට පසු 2014 දක්වා වැඩ බැලීමේ පදනම මත ක්‍රීඩාවට ප්‍රමුඛත්වය ලබාදීමෙන් එම කාලය තුළ සිදුවුණු පිරිහීම අදටත් ඍජු බලපෑම් කරයි.
ක්‍රීඩා වෛද්‍ය ඒකකය පිහිටු වූ දින පටන් නැවක් නැති කොළම්බස් කෙනෙක් මෙන් හැසිරෙයි.
බොහෝ ක්‍රීඩකයන් හා බොහෝ පුහුණුකරුවන් එම ආයතන පිළිබඳ කලකිරුණු සිතින් කතා කළත් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයක් බැවින් බිහිරි අලියාට වීණා වැයුවාක් මෙන් එය නිෂ්ඵල ප්‍රයත්නයකි.

ජාත්‍යන්තර මලල ක්‍රීඩාවෙන් රන්, රිදී පදක්කම් ඉල්ලා සිටින ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් ක්‍රීඩකයන්ට කෘත්‍රිම ධාවන පථයක් නැති බව ප්‍රකාශ කොට නැවත නිහඬ වීම පුදුමයට කරුණකි. එම සටන අඛණ්ඩව කිරීමට මේ අය පෙළඹවීමට අවස්ථාව පැමිණ ඇත. ලංකාවේ ප්‍රධාන පාසල් කිහිපයක් (කොළඹින් බැහැර) ළමයින්ගේ දක්ෂතා වර්ග කරන්නේ මාසිකව රාජ්‍ය වැටුප ලබන පී.ටී.අයි. විසින් නොව ශිෂ්‍ය නායිකාව හෝ නිවාස නායිකාව විසිනි. ඔවුන් නොදන්නා බොහෝ ක්‍රීඩා ඇති බව ඔවුන් නොදන්නා ප්‍රධාන කරුණත් එයයි. ළමයාගේ ක්‍රීඩා දක්ෂතා නිවැරැදිව තමා විසින් හඳුන්වා නොදී ශිෂ්‍ය නායිකාවන්ට භාර දීමෙන් බොහෝ පාසල් ක්‍රීඩා වියවුලට පත්වූ අයුරු සාක්ෂි ඇතිව සනාථ කළ හැකිය. එක් ප්‍රධාන පෙළේ නගරයක ක්‍රීඩා නායිකාවක් තම පාසල් කණ්ඩායම ක්‍රීඩා පිටියට රැගෙන අවුත් තරග ආරම්භය ලබා දුන්නේ මෙසේය. ධද රධභප ථචපඬ, සැරසේන්, රෙඩි, ගෝ යනුවෙනි. ඇයත් වෙනත් ක්‍රීඩාවකින් නායකත්වය ලබාගත් අයෙකි. මොවුන්ගේ හැකියා වර්ධනයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න බැරිද, රාජ්‍ය වැටුප ලබාගත් පී.ටී.අයි.වරුන් 4ක් එම විදුහල තුළ ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ව්‍යාපෘතිය හා ක්‍රීඩා ශක්ති අයාලේ ගොස් ඇත. මෙම බිඳ වැටීම නවතාලන්නට අසමත් වුණොත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවට ක්‍රීඩා අධිකාරියක් බිහිකොට ක්‍රීඩා පනත අහෝසි කළ යුතුය. එවිට නව පනතක් (අධිකාරි පනතක්) නිර්මාණය කළ හැකිය. ලොව දියුණු රටවල ක්‍රීඩා පනත් හරහා පාලනයක් නැත්තටම නැති තරම්ය. අධිකාරි පනත හෝ ක්‍රීඩා කවුන්සිලය හරහා නව දැක්මක් ඇති කිරීමට කාලය උදාවී ඇත.