වාස් ෂෝ යුව’ ක්ලාස්

899
Clive Mason/Getty Images

1999 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ තරග සංචාරයක යෙදුණෝය. මේ තරග සංචාරය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් වූයේ සිම්බාබ්වේ නායක ඇන්ඩි ෆ්ලවර්ය. 

හරාරේ නුවර පැවති තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ පන්දුවට පහර දීමට ෆ්ලවර් පැමිණෙන විට අනෙක් අන්තයෙන් පන්දු යවන්නට ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය කැඳවූයේ චමින්ද වාස්ය.

පන්දුවාර පහක් හෝ හයක් යන තුරු ෆ්ලවර්ගේ තුළට ඇදී ආ පන්දුවලට ඔහු ඉතාම පහසුවෙන් ආරක්ෂකාරීව මුහුණ දුන්නේය. කිසිම තර්ජනයක් හෝ අපහසුවක් පිතිකරුවාට නොතිබුණ ද, එකම එල්ලය තබාගෙන වාස් දිගින් දිගටම පන්දුකරණය් යෙදුණේය.

තමා කලින් පන්දු යැවූ එල්ලයේම ෆ්ලවර්ගෙන් ඉවතට ඇදී යන පන්දුව වාස් පෙන්නුම් කළේ පන්දුවාර පහක් හෝ හයක් යැවීමෙන් පසුව බව අද වගේ මතකය. එය නම් ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් මරුම තාලයේ සෙට් අප් කිරීමකි.

දිගින් දිගටම තමා වෙතට ඇදී එන පන්දුවට හුරුවී සිටි ෆ්ලවර් තමාගෙන් පිටතට ඇදී යන පන්දුවට සුපුරුදු පරිදි පිත්ත යොමු කළේය. තමාට වැඩේ මහ ගහෙන් වැරදුණු බව ෆ්ලවර්ට වැටහෙන විට ස්ලිප් කලාපයේ සිටි ක්‍රීඩකයෙකු පහසුවෙන් උඩපන්දුව රැකගෙන තිබුණේය.

සමහර විට පන්දු දෙකක් හෝ තුනක් ඇතුළත ෆ්ල්වර්ට ඒ පන්දුව යොමු කළා නම් ඔහු සෑහෙන ලෙහෙසියෙන් එය මැඩගනු ඇත. වාස් ඒ බව හොඳින්ම දැන සිටියේය.

2007/08 තරගවාරය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පස්වැනි එක්දින තරගය පැවැත්වුණේ කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී ය. ඒ වන විට තරගාවලිය 3-1ක් ලෙස පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සිය ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජයගත යුතුම එකක් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 212 ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් අතරින් වඩාත්ම තර්ජනයක් වූයේ කෙවින් පීටර්සන්ය.

එම තරගයේ චමින්ද වාස් පන්දුව යොමු කිරීමටත් පෙර පා ඉන්න (Leg Stump) විවෘත කරමින් පිට ඉන්න (Off Stump) දෙසට ඇවිද ගිය පීටර්සන් මිඩ්විකට් කලාපය හරහා හතරේ පහර කිහිපයක් එල්ල කළේය.

තමාට ආවේණික ෆ්ලෙමිංගෝ පහරෙන් පන්දුව හතරේ සීමාවෙන් එහා නැවැත්වූ පීටර්සන්ට වාස් සතුව වෙනම සැලසුමක් තිබුණේය.

ඊළඟ අවස්ථාවේ සිය පා ඉන්න විවෘත කරමින් ෆ්ලික් පහරට ගිය පීටර්සන්ට වාස්ගෙන් ලැබුණේ පා ඉන්න ඉලක්ක කරගත් වේගවත් යෝකර් පන්දුවකි. පීටර්සන්ගේ පා ඉන්න ගැලවී ගුවනට මුසුවන විට එංගලන්ත ජයග්‍රහණ බලාපොරොත්තුව ද ඒ ආකාරයෙන්ම සුළඟේ පාවී ගියේය.

මුත්තයියා මුරලිදරන් සතුව තිබූ ක්‍රිකට් අවි ආයුධවලින් කොටසක් හෝ වාස්ට තිබුණේ නැත. නමුත් ඔහුට ඉතා තියුණු ක්‍රිකට් බුද්ධියක් තිබුණේය. එවැන්නක් නොතිබුණා නම් ඉන්දියානු උපමහද්වීපයේ ගිනි කාෂ්ඨක අව්වේ වේගපන්දු යවමින් ටෙස්ට් කඩුලු 350ක් සහ එක්දින කඩුලු 400ක් දවා ගැනීමට ඔහුට ඉඩ හසර ලැබෙන්නේ නැත.

මා ඉහත සඳහන් කළේ පිතිකරුවා කියවීම සම්බන්ධයෙන් වාස් සතුව තිබූ අගනා හැකියාව පිළිබඳ නිදසුන් කිහිපයකි. අවශ්‍ය විටෙක මුරලිට ආක්‍රමණය කරන්නට එක එල්ලයක පන්දු යවන්නට ද හැකි නම් ආක්‍රමණයට ද කෙටියෙන්ම කියතහොත් පන්දුවෙන් පිත්තෙන් හෝ පන්දු රැකීමෙන් තමා සතු සියල්ල කණ්ඩායමට ලබා දෙන්නට ඔහු නිරන්තරයෙන් අවධාරණය බැඳී සිටියේය.

1997 වසරේ ඉන්දියාවේ පැවති පෙප්සි නිදහස් කුසලාන තරගාවලියේ පාකිස්තානය සමඟ පැවති මූලික වටයේ තරගයේ දී පාකිස්තානු පිතිකරුවන් අතින් දරුණු ප්‍රහාරයකට ලක්වන්නට වාස්ට සිදු විය. වාස්ගේ පන්දුවාර 10 තුළ ලකුණු 71 සොරාගන්නට පාකිස්තානු පිතිකරුවන් සමත්ව තිබුණි.

එම තරගයෙන් පසුව වාස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ වසීම් අක්‍රම් වැන්නෙකුට වුවත් එවන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවය. මීළඟ තරගයේ දී තමා පෙර තරගයේ වැරදි නිවැරදි කරගෙන වඩාත් විශ්වාසයෙන් ක්‍රීඩා කරන බව ද ඔහු පවසා තිබුණි.

සත්කාරක ඉන්දියාව සමඟ මුම්බායි නුවර පැවති මීළඟ තරගයේ දී සිය පන්දුවාර දහය තුළ වාස් ලබා දුන්නේ ලකුණු 13ක් පමණි. තරගයේ ආරම්භක පන්දුවේ දී සව්රව් ගංගුලිත්, අවසාන පන්දුවේ දී අනිල් කුම්බ්ලේත් දවා ගන්නට එදා වාස් සමත් විය

එක්තරා කලෙක MRF වේගපන්දු ඇකඩමියේ දී ඉහළ තක්සේරුවක් නොලැබූ වාස් පසුකලෙක ප්‍රතිදෝලන පන්දු ඇතුළු අවි ආයුධ රැසක් තම ගබඩාවට එක් කරගත්තේය.

ඒ 1995 වසරේ මාර්තුවේ දිනයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා පර්සි අබේසේකරයන් “වාස් ෂෝ යුව’ ක්ලාස්” කියා කෑගසමින් ශ්‍රී ලංකා ධජය අතැතිව නේපියර් නුවර මැක්ලීන් පාක් ක්‍රීඩාංගණය වටා දිව යමින් සිටියේය.

අංකල් පර්සිගේ ඉල්ලීම ලද චමින්ද වාස් නම් විසිඑක් හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඇත්තටම පිටිය මැද ඔහුගේ ක්ලාස් එක පෙන්වමින් සිටියේය.

එදා වාස්ගේ ක්ලාස් එක ශ්‍රී ලංකා කණ්ඩායමට මව්බිමට පිටත දී ලද මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබා ගැනීමට මනා පිටිවහලක් විය.

තරගය පුරාවට ලකුණු 90කට නවසීලන්ත කඩුලු 10ක් දවා ගත් වාස් ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් දැක්වූ දායකත්වය ද අති විශාල විය.

1995 වසර අග ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු කණ්ඩායම පාකිස්තානයේ දී ම පරාජය කරන්නට වාස්ගේ පන්දු යැවීමෙන් ලැබුණේ මනා දායකත්වයකි.

පෙෂාවෝර් නගරයේ පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් දරුණු ලෙස පරාජය වීමෙන් අනතුරුව ෆයිසලාබාද් සහ සියල්කොට් තරග දෙකම ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලද පෙෂාවෝර් තරගයේ දී පවා වාස්ගේ නම ඉදිරියෙන් කඩුලු පහක් සටහන්ව තිබුණි.

පාකිස්තානු කණ්ඩායම සිය මව්බිමේ දී ටෙස්‍ට් තරගාවලියක් පරාජයට පත්වුණේ 1980-81 තරගවාරයට පසුවය.

1996 විල්ස් ලෝක කුසලානයේ ඉහළින්ම දස්කම් අතර සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවා වූයේ මාක් වෝය.

කෙන්යාවට, ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිව අගනා ශතක තුනක් වාර්තා කර ගත් වෝ ලෝක කුසලානය නිමා කළේ තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා ලෙසය.

අවසන් තරගයේ දී අප ලබා ගත් වැදගත්ම කඩුලු වලින් එකක් ලෙස මාක් වෝගේ කඩුල්ල සඳහන් කිරීම වටී. වෝට එදා වැරදුණේ ඔහු බඩේ බත් වගේ එල්ල කරන ෆ්ලික් පහරය. එදා වෝගේ කඩුල්ල දවා ගත්තේ අප කතානායක චමින්ද වාස්ය.

චමින්ද වාස් ගැන මට ඇති මුල්ම මතකය ලෙමනේඩ් බෝතලයක් ඉලක්ක කර පන්දු යැවූ තරුණයෙකු පිළිබඳ වෙළඳ දැන්වීමකි. අනූව දශකයේ ක්‍රිකට් හා බැඳී සිටි කිසිවෙකුට එය අමතක වන්නට විදියක් කොහෙත්ම නැත.

වාස්ට බොහෝ දේවල් බන්දේසියක තබා ලබා දීමට කිසිවෙකු සිටියේ නැත. නමුත් අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම ගිය වාස් නූතන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට මනා ආදර්ශයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<