ඇය “දුවද්දී දැවී ගියා”ය

1558

“මන්කාඩ් කිරීම” යනු අතීතයයි. “මහත්වරුන්ගේ ක්‍රීඩාව” යනු ද අතීතයයි. වර්තමානය වනාහි “තරගකාරී වීම” සහ “වෘත්තීය ක්‍රීඩකයන් වීම” ය.

එය පිතිකරුවන්ට, පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට යන තෙපාර්ශ්වයටම සම යුතුකම්, වගකීම් භාරදෙන්නකි.

කර්ට්නි වෝල්ෂ්, පාකිස්තානයට එරෙහි එක්දින තරගයක අවසන් පන්දුවේ දී සලීම් ජෆාර්ව මන්කාඩ් කිරීමෙන් වැළකී සිටියේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී ය. “මන්කාඩ් කිරීම” යනු පන්දු යවන්නා විසින් පන්දුව යැවීමට පෙර, සීමා ඉරෙන් ඉදිරියට ගොස් සිටින පන්දුවට පහර නොදෙන පිතිකරුවා ව පන්දු යවන්නා විසින්ම කඩුල්ල බිඳ දමා දවා ගැනීමයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික පුරුද්ද වන්නේ එවැනි පිතිකරුවෙකුට පළමුව අවවාද කොට, දෙවනුව ද අවනත නොවන්නේ නම් පමණක් ඔහුව මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමයි. අවවාද කිරීම මහත්මා ගුණ ප්‍රකට කරවන අවස්ථාවක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ ප්‍රශංසාවට බඳුන් වූ වෝල්ෂ්ගේ ක්‍රියාව නිසා බටහිර ඉන්දීය කොදෙව්වන්ට 1987 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. කර්ට්නි වෝල්ෂ් විසින් සලීම් ජෆාර්ව දවා නොගෙන මේ වන විට වසර 35ක් ගෙවී ගොසිනි.

ඒ අවුරුදු 35 ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ සෙයින් වෙනස් වී තිබේ. එකල මෙන් මෙකල තරගයක් පරාජය වීමට ඉඩ දිය නොහැකිය. ක්‍රීඩාව වෘත්තීය වී ඇත. දෙමාපියන්ගේ මළගමකට වුව ක්‍රීඩකයෙකුට තරගයක් අතහැර පැමිණීම අපහසු ය.

දරු උපතක් නිසාවත් ක්‍රීඩක පියෙකුට ක්‍රිකට් පිටියෙන් ඈත් විය නොහැකිය. ඒ කරුණ කණ්ඩායමේ ඔහුගේ ස්ථානය අහිමි වීමට හේතුවක් විය හැකිය. එබැවින් මානුෂීයත්වය පසෙක දමා රැකියාව බේරාගැනීමට ක්‍රීඩකයන්ට ද සිදුව ඇත්තේ ඔබට, මට, අප සැමට සිදු වී ඇති ආකාරයට ය.

එබැවින් සියලු දෙනා වෘත්තීය විය යුතු වේ. පන්දු යවන්නාට වඩා අවස්ථා පිතිකරුට ලැබිය යුතු නැත. එසේ ලැබෙන්නේ නම් ඊට එකම හේතුව පිතිකරුවන්ගේ විශාල පහරවල් නැරඹීමට ප්‍රේක්ෂකයන් තුළ ඇති කැමැත්ත යි. එහෙත් මේ වන විට පිතිකරුවන්ට වේගයෙන් ලකුණු වාර්තා කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉඩකඩ වෙන්වී ඇති නිසා පන්දු යවන්නන්ට ද කඩුලු ලබා ගැනීමේ අවස්ථා විවර විය යුතුය. නැතිනම් බේස්බෝල් සහ ක්‍රිකට් අතර වෙනසක් නොතිබෙනු ඇත.

එබැවින් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ අවසන් දිනයේ සිදු වූ “දුවද්දී දවා ගැනීම” ගැන කතා බහ එතරම් අරුමයක් නොවිය යුතුය.

indianexpress.com
දීප්ති ශර්මා විසින් චාලට් ඩීන්ව “දුවද්දී දවා ගත්” මොහොත

එය “මන්කාඩ් කිරීමක්” නොවී “දුවද්දී දවා ගැනීමක්” වන්නේ හේතුවක් ඇතිව ය. පසුගිය දා ක්‍රිකට් නීති සකසන Marylebone Cricket Club (මාලිබෝන් ක්‍රිකට් සමාජය – MCC) විසින් එවැනි දැවී යාම් “දුවද්දී දැවී යාම්” බවත්, එය සම්පූර්ණයෙන්ම නීතිගත බවත් දැනුම් දුන්නේය. 2022 ඔක්තෝබර් මාසයේ දී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඒ නව නීති ක්‍රියාත්මක වන බව ද දැනුම් දුන්නේය.

එබැවින් “මන්කාඩ්” නමැති අමුතු විජ්ජාවක් ක්‍රිකට් ලොව තුළ නැත. එය දුවද්දී දවා ගැනීමකි. නැගෙන තවත් තර්කයක් වන්නේ නව නීතිය බලපවත්වන්නේ ඔක්තෝබර් පළමු වැනිදා සිට බවයි. එබැවින් ඉන්දියානු ක්‍රීඩිකා දීප්ති ශර්මා විසින් දවා ගත් චාලට් ඩීන්ගේ කඩුල්ල ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් බවයි.

එසේ නම් 2014 එංගලන්තයේ දී සචිත්‍ර සේනානායක විසින් ජොස් බට්ලර්ව දවා ගත් ආකාරය ද අසාධාරණ විය යුතුය. 2019 IPL තරගාවලියේ දී රවිචන්ද්‍රන් අශ්වින් විසින් ජොස් බට්ලර්ව දවා ගැනීමත් අසාධාරණ විය යුතුය. එසේ නැත. ඒ සියල්ල ක්‍රිකට් ය.

“මහත්වරුන්ගේ ක්‍රීඩාව” යනු වදනක් පමණි. එය එතැනින් බොහෝ දුර පැමිණ ඇත. දැන් ක්‍රිකට් යනු වෘත්තීය ක්‍රීඩාවකි. එතුළ ඇත්තේ ජීවන අරගලයේ එක් පැතිකඩක් මැය. එබැවින් එහි මහත්වරු නැත. ඇත්තේ ඔබ අප වැනි සාමාන්‍ය අළු පැහැති මිනිසුන් ය.

චාලට් ඩීන්ගේ දැවී යාමෙන් පසුව MCCය පසුගිය ඉරිදා වාර්තාවක් එළිදැක්වූයේ ය.

ඊයේ දිනයෙහිදී ඇත්ත වශයෙන්ම උද්වේගකර තරගයක අසාමාන්‍ය අවසානයක් වුවත්, එය නිල වශයෙන් නිවැරදියි සහ ඊට වඩා දෙයක් ලෙස නොසැලකිය යුතුය.”

“MCCය විසින් පන්දුවට පහර නොදෙන පිතිකරුට ලබා දෙන පණිවුඩය, ‘පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහෙන තෙක් ඔබට අයත් සීමා ඉර තුළ රැඳෙන්නයන ලෙස ඉදිරියටත් පවතියි. එසේ වන්නේ නම් ඊයේ දින දුටුවා වැනි දැවී යාම් සිදුවන්නට නොහැකිය.” එහි සඳහන් විය.

අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ එයම ය. පන්දු යවන්නා ක්‍රීඩාවේ ජීවගුණය රැකිය යුතු සේම, පන්දුවට පහර දෙන නොදෙන පිතිකරුවන් ද ක්‍රීඩාවේ ජීව ගුණය සුරැකිය යුතුය.

ප්‍රහාරය අශිෂ්ට නම්, ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය නොසොයන්න”යැයි කියමනක් තිබේ. මේ එහි දිගුවකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<