සහෝදරයාගේ තැනට විද්ද ජූනියර්!

1002

90 දශකයේ මුල දිනයක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුලක සාමාජිකයින් පිරිසක් රාත්‍රි ආහාරය ගන්නට සූදානම් වෙමින් සිටියා. ඔවුන් මග බලමින් සිටියේ පවුලේ තවත් සාමාජිකයෙකු මේ අතරට එක්වීමට නියමිතව සිටි නිසා.

මේ කියන සාමාජිකයා ජාත්‍යන්තර තරගවල දී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

එදා ස්ටීව් වෝ නම් මේ ඕස්ට්‍රේලියානුවා රාත්‍රි ආහාරය ගන්නා තම පවුලේ සාමාජිකයින්ට දැනුම් දෙන්නට ආරංචියක් රැගෙන විත් තිබුණා. ඒ තමාට වඩා විනාඩි හතරක පරතරයකින් මෙලොව එළිය දුටු මාක් නම් තමන්ගේ නිවුන් සොහොයුරාට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග වරම් හිමි වී ඇති ආරංචිය.

ඉකුත් සුබ ආරංචියෙන් පවුලේ සියලු දෙනාම මහත් උද්දාමයට පත්වුනා. ඔවුන් කෙතරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වුනා ද කියතහොත් පවුලේ එකිනෙකා වැළඳ ගනිමින්  සතුට සමරන්නට වුනා.

ඒ සමඟම ඔවුන්ගේ ගැටලුව වුනේ මාක් වෙනුවට කණ්ඩායමෙන් ඉවතට ගියේ කවුරුන්ද යන්න.

“දැන් කවුද කණ්ඩායමෙන් ඉවතට ගිහිල්ලා තියෙන්නේ?”

අවසානයේ එක් අයෙකු කටහඬ අවදි කළා.

“මාක් වෙනුවට කණ්ඩායමෙන් අයින් කරලා තියෙන්නේ මාව”, ස්ටීව් පිළිතුරු දුන්නා.

මෙකී රාත්‍රිය වෝ පවුලට සතුට හා දුක මිශ්‍ර රාත්‍රියක් බවට පත්වුණේ එලෙසින්.

“හොඳ වෙලාවකට අපි හැඟීම්වලට බරක් දෙන පවුලක් නෙවෙයි. මාක් තෝරාගත් ආරංචිය සතුටක්. ඒ වගේම ස්ටීව් කණ්ඩායමෙන් ඉවතට යෑම දුකක්. නමුත් අපිට ඒක දරාගන්න පුළුවන් වුනා.

ගෙදර කොල්ලොම හතරක්නේ. ඉතින් හතරදෙනාම හොඳට කරන දවස් හරිම අඩුයි. එක්කෙනෙක් හොඳට කරන දවසට තව කෙනෙක්ට අන්තිම අසාර්ථක දවසක් වෙන්න පුළුවන්.

අනික ස්ටීව් කොයිතරම් තද හිතක් තියන කෙනෙක් ද කියන එක අපි දැනගෙන හිටියා. ඔහු ඉක්මනින් නැවත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒවි කියන විශ්වාසය අපි හැමෝටම තිබුණා.”

වෝ සොයුරන් ගේ මව බෙවර්ලි පසුකලෙක ප්‍රකාශ කළා.

“අම්මටත්, තාත්තටත් එය වැදගත් ආරංචියක් වුනා. ඇත්තටම කුමන ආකාරයකින් ප්‍රතිචාර දැක්විය යුතු ද සිතා ගැනීමට නොහැකිව ඔවුන් විනාඩි පහක් පමණ ගල් ගැසී සිටියා. මට සුබ පතනවා ද, ස්ටීව්ට ශෝකය පළ කරනවා ද ඔවුන්ට එක්වරම සිතා ගැනීමට නොහැකි වුනා.

සැබැවින්ම ඒ කාලයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සන්නිවේදන ක්‍රියාවලිය එතරම්ම සාර්ථකයි. තමා වෙනුවෙන් වෙනකෙකු කණ්ඩායමට තෝරාගත් පණිවිඩය ලබා දෙන්නට සිදු වන්නේත් කණ්ඩායමෙන් ඉවතට ගිය ක්‍රීඩකයාටමයි”

ටෙස්ට් කණ්ඩායමට තෝරාගත් දිනයේ රාත්‍රිය ගැන මාක් පසුකලෙක එසේ පැවසුවා.

වෝ සොයුරන් කුඩා කාලයේ

ඒ වන විටත් පළමුපෙළ තරග සියයකට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබූ මාක් එම තරගවල දී ලකුණු 7,500කට එහා රැස් කරගන්නට සමත්ව සිටියා. බැගීග්‍රීන් හිස් වැස්ම නැතහොත් ඕස්ට්‍රේලියානු ටෙස්ට් වරම් නොලද ක්‍රීඩකයෙකුට එය අනගි පිතිකරණ වාර්තාවක්.

පසු දින උදෑසන මාධ්‍යවේදීන් නොයෙක් පන්නයේ කැමරා අත දරාගෙන සිඩ්නි ක්‍රීඩාංගණයේ වෙත පැමිණියේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් වරම් ලද නවතම සාමාජිකයා සොයාගෙන.

වෝ නිවුන්නුන්ට මෙන්ම නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට ද ජනමාධ්‍යවේදීන් සමඟ ගනුදෙනුව ඒ අවස්ථාවේ ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැහැ. හේතුව ඒ වන විටත් නිව් සවුත් වේල්ස් කණ්ඩායම සහභාගී වෙමින් සිටි ෂෙෆිල්ඩ් ෂීල්ඩ් තරගයේ තවත් දින දෙකක් ඉතිරි වී තිබූ නිසා.

ෂෙෆිල්ඩ් ෂීල්ඩ් තරගයේ දිවා ආහාර විරාමය අතරතුර සිඩ්නි ක්‍රීඩාංගණයට පැමිණි පුවත්පත් මාධ්‍යවේදියෙකු වෝ සොයුරන්ට ඡායාරූපයට පැමිණෙන ලෙස ආරාධනා කළා.

ස්ට්වී එතරම් පහන් හැඟීමකින් නොසිටින බව තේරුම් ගත් මාධ්‍යවේදියා ඡායාරූපයට මදක් සිනහා වෙන මෙන් ස්ටීව්ගෙන් ඉල්ලා සිටියා.

“හිනා වෙන්න තරම් මොකක්ද දැන් වෙලා තියෙන්නේ?”

තද ගති ඇති ස්ටීව් වහාම නෝක්කඩු ස්වරූපයකින් පිළිතුරු බැන්දා.

“තේරුම් ගන්න පුළුවන් කණ්ඩායමෙන් ඉවත් කිරීම ඔහුට කොයිතරම් බලපෑව ද කියන කාරණාව. හැබැයි ඔහු එය හොඳින් විඳ දරාගත්තා. ඒ වගේම හැමෝම දැනගෙන හිටියා වැඩිකල් යන්න කලින් ඔහු ආපහු කණ්ඩායමට ඒවි කියන එකත්.

නමුත් එක කාරණාවක් නම් හොඳටම පැහැදිලි වුනා. ස්ටීව් ඉවත් කිරීමෙන් හිස් වූ පුරප්පාඩුවට මාව තෝරා ගැනීම මගේ ටෙස්ට් වරම් ලැබීමේ දීප්තිය මදක් අඩු කළා”.

මාක් පසුකලෙක ප්‍රකාශ කළා.

ඉකුත් කලබගෑනිය වෝ සොයුරන්ගේ ෂෙෆිල්ඩ් ෂීල්ඩ් තරගයට ඇති කළේ විශාල බලපෑමක්. පළමු ඉනිමේ ශතකයක් ලබා ගෙන සිටි මාක් නිව් සවුත් වේල්ස් දෙවන ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය අතර ස්ටීව්ට ලබා ගත හැකි වූයේ යාන්තම් එක ලකුණක් පමණයි.

ස්ටීව්ට මෙන්ම මාක්ගේ ද කුඩා කල සිහිනය වූයේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමයි. දැන් එය සැබෑවක් වී අවසන්. එදා මාක් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නේ අගනා ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකින්.

සිය නිවුන් සොයුරාට ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කර ගන්නට ඉනිම් 43ක් වැය වූ බැව් මාක් දැන සිටියා. නමුත් ඒ කඩඉම සිය මංගල ටෙස්ට් තරගයේ දී ම සපුරාගන්නට මාක් සමත් වුනා. එය මාක්ගේ 26 වෙනි පළමුපෙළ ශතකය ලෙසයි වාර්තා වුනේ.

මාක්ගේ ඉනිම අනගි එකක්. ඉතා දැකුම්කළු පහරවල්වලින් ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය වර්ණවත් කරන්නට එදා ජූනියර් නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මාක් වෝ සමත් වුනා. පිටිය පුරාවටම පහරවල් එල්ල කළ මාක්ගේ ඩ්‍රයිව් පහරවල් සහ ෆ්ලික් පහරවල් මනස්කාන්ත දර්ශනය මවා පෑවා.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී මාක් සිය මංගල ටෙස්ට් ශතකය රැස් කර ගන්නා විට ඔහුගේ සහකාරිය සූ චැනල් නයින් රූපවාහිනී සේවය ඔස්සේ මාක්ගේ ඉනිම පන්දුවෙන් පන්දුවට නරඹමින් සිටියා.

මාක් ශතකයට ළඟා වෙද්දී ක්‍රිකට් විකාශය ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන් මදක් නතර කරනු ලැබුවා. මොහොතකින් මාක් ශතකය රැස්කර ගනු ඇති බැව් දත් සූ වහා වහාම ගුවන් විදුලි යන්ත්‍රයක් සොයා ගියා. නමුත් අධික නොසන්සුන් බවට පත්ව සිටි ඇයට නිවැරදිව ක්‍රීඩා නාළිකාව සුසර කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නැවත චැනල් නයින් ක්‍රිකට් විකාශය ආරම්භ කරන විට මාක් ශතක සීමාවෙන් ඔබ්බට පැනගෙන සිටියා.

මාක් සිය ටෙස්ට් දිවියේ පළමු දිනය නිමා කළේ නොදැවුණ ලකුණු 116ක් තමාගේ නමට ඉදිරියෙන් සනිටුහන් කර ගනිමින්.

ඇලන් බෝඩර් ක්‍රීඩක විවේකාගාරයට පිවිසෙන මාක් වෝට සුබ පතමින්.

අනර්ඝ ක්‍රිකට් සැබැඳියාවක ගමනක ආරම්භය එය වුණා. සාමාන්‍යයෙන් හැඟීම්බර නොවන ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් ක්‍රීඩක විවේකාගාරයට පිවිසෙන මාක්ට සුබ පතන්නට එදා පෙරමුණේම සිටියා.

වැඩි කාලයක් යන්නට මත්තෙන් නැවත වතාවක් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගන්නට ස්ටීව් ද සමත් වුනා.

මෙම ලිපිය සැකසීමට මාක් වෝගේ චරිතාපදානය Mark Waugh: The Biography උපකාර කරගන්නා ලදි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<