චමෝද්ගේ ගෝල 3න් ජයග්‍රහණය කොළඹට

Super League 2021

219

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් 2021 තරගාවලියේ අද (11) පැවති තරගවලින් Sea Hawks FC සහ Defenders FC තරගය ගෝල සමව අවසන් වූ අතර Ratnam SC පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට Colombo FC සමත් වුනා.

Sea Hawks FC – Defenders FC

කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගය තියුණු සටනකින් පසුව ගෝල 2-2ක් ලෙස සමව අවසන් වුනා.

තරගාවලියේ මෙතෙක් පෙරමුණ දිනාගෙන සිටින Sea Hawks පෙර සතියේ Up Country Lions FC පරාජය කරමින් මෙම තරගයට පිවිසි අතර, පෙර සතියේ දී Ratnam SC හමුවේ ලද ජයග්‍රහණය නිසා Defenders FC ක්‍රීඩකයන් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට පිවිසුණා.

තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමින් පළමු ගෝලය 27 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට Sea Hawks නායක ධනුෂ්ක මධුෂංකට හැකි වූ අතර Sea Hawks ක්‍රීඩක සුභාෂ් මධුෂාන් එම අර්ධයේම කණ්ඩායමේ දෙවැනි ගෝලය රැස් කළා.

Defenders FC ක්‍රීඩකයන්ට එම අර්ධය තුළ කිසිදු ගෝලයක් රැස් කිරීමට නොහැකි වීම නිසාවෙන් පළමු අර්ධය Sea Hawks ක්‍රීඩකයන් පෙරමුණේ තබමින් අවසන් වුනා.

දෙවැනි අර්ධයේ දී තරගයට අවතීර්ණ වෙමින් පළමු ගෝලය වාර්තා කිරීමට Defenders ක්‍රීඩක සජිත් කුමාර සමත් වූ අතර ඉන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ රිෆ්කාන් මොහොමඩ් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය දිනා දෙමින් ලකුණු පුවරුව සම කිරීමට සමත් වුනේ 73 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 2 – 2 Defenders FC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • ● Sea Hawks FC – සුභාෂ් මධුෂාන් 31’, ධනුෂ්ක මධුෂංක 31’
  • ● Defenders FC – සජිත් කුමාර 68’, රිෆ්කාන් මොහොමඩ් 73’

Ratnam SC – Colombo FC

අද (11) සවස් වරුවේ පැවති මෙම තරගයෙන් Ratnam SC පරදවමින් ගෝල 4-1ක දැවැන්ත ජයක් ලබා ගන්නට ප්‍රබල Colombo FC සමත් වුනා.

27 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් සිය කණ්ඩායමට පළමු ගෝලය වාර්තා දිනා දීමට Colombo ක්‍රීඩක චමෝද් ඩිල්ෂාන් සමත් වුනා. ඉන් කෙටි වේලාවකට පසු, එනම් 29 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය ද රැස් කිරීමට චමෝද් ඩිල්ෂාන් සමත් වුනා.

එම අර්ධය සම්පූර්ණ වශයෙන් සිය පාලනයට ගැනීමට Colombo ක්‍රීඩකයන්ට හැකි වීම නිසාවෙන් Ratnam ක්‍රීඩකයන්ට ගෝල වාර්තා කිරීමට කිසිදු අවස්ථාවක් හිමි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ චමෝද් Ratnam ගෝල රකින්නාව මුලාවට පත්කරමින් පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ දිනයේ තුන්වැනි ගෝලයත් සිය නම ඉදිරියේ ලියා ගනිමිනුයි.

Ratnam ක්‍රීඩකයන් තවත් අසරණ කරමින් 64 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට Colombo යොවුන් ක්‍රීඩක මොහොමඩ් ආකීබ්ට හැකි වුනා.

තරගය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී එනම්, 84 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමට පළමු ගෝලය වාර්තා කරදීමට Ratnam ක්‍රීඩක මොහොමඩ් හකීම් සමත් වුවත් එය වෙනසක් කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Colombo FC 4 – 1 Ratnam SC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • ● Colombo FC– චමෝද් ඩිල්ෂාන් 27’,  39’ & 55’, මොහොමඩ් ආකීබ් 64’
  • ● Ratnam SC– මොහොමඩ් හකීම් 84’

තරගාවලියේ තවත් තරගයක් හෙට (12) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී New Youngs FC ක්‍රීඩකයින්ට එරෙහිව Red Stars FC ක්‍රීඩකයිනුත් තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ සවිස්තර තොරතුරු දැන ගන්නට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<