හැමදේම නැති වෙලත් තවමත් සිනහා වෙන ගබ්බර්!

1561

Sholay කියන අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටියේ ප්‍රසිද්ධ චරිතයක් හිටියා Gabbar Singh නමින්, ඒ චරිතය නිසා තමයි පසු කාලයක දී ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න පැමිණි Shikar Dhawanටත් Gabbar කියලා අන්වර්ථ නාමයක් පටබැඳෙන්නේ.

“මම රංජි කුසලාන තරගයක Silly-Point වල පන්දු රකිමින් සිටියේ. ඒ වෙලාවේ ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනා තරමක් හොඳ සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටියා. මම ඒ වෙලාවේ ‘Bahut Yarana Lagtha Hai’ කියලා කෑ ගැහුවා.”

Bahut Yarana Lagtha Hai කියන්නේ Sholay චිත්‍රපටියේ Gabbar Singh නම් චරිතය නිතර ම පාවිච්චි කරපු අතිශය ප්‍රසිද්ධ දෙබසක්. ඒකේ තේරුම තමයි “ඔයාලා ගොඩක් කිට්ටු යාළුවෝ වගෙයි පේන්නේ” කියන එක.

මේ වචන ටික නිසා Dhawanගේ කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටපු Vijay Dahiya විසින් Gabbar කියන නම Dhawanගේ නමට ඈඳනවා.

ඒ වගේ ම Shikar Dhawanගේ බාහිර පෙනුමට විශාල ආකර්ෂණයක් එක් කරපු ඔහුගේ උඩු රැවුලත් මේ අන්වර්ථ නාමයට තවත් එක හේතුවක් බව ඔබ විශ්වාස කරනවා ද?

2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව තමන්ගේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරපු Dhawan සිය ඉනිම නිමා කරන්නේ ලකුණු 187ක් වාර්තා කිරීමෙන් අනතුරුව. ඔහු ඒ ඉනිම තුල දී මංගල ටෙස්ට් තරගයක දී ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ වේගවත් ම ශතකයේ වාර්තාව (පන්දු 85ක් තුල) තමන් සතු කර ගන්න සමත් වෙනවා.

ඒ වගේම ඔහු සිය ඉනිම නිමා කරලා පිටියෙන් ඉවත් වෙලා යන්නේ තමන්ට හුරුපුරුදු ඉරියව්වක් වුන එක් අතකින් සිය උඩු රැවුල තරමක් ඉහළට කරකවන ගමන්.

Dhawanගේ මේ රැවුල කරකැවීමේ පුරුද්දත් Gabbar කියන අන්වර්ථ නාමය ඔහුට හිමි වෙන්න එක හේතුවක් (Image Source - India YV News)මේ සිදුවීමෙන් පසු දවස වෙද්දී ඉන්දියානු මාධ්‍ය වගේ ම, සමාජ මාධ්‍ය ජාලා වලත් මේ රැවුල කරවමින් පිටියෙන් ඉවත් වෙලා යන ශතක ලාභී Dhawanව Gabbar යන නමින් හඳුන්වමින් විවිධ පුවත් පළ වෙන්න පටන් ගන්නවා. ඉන්පසුව ටිකෙන් ටික Dhawanව බොහෝ දෙනෙක් විසින් Gabbar කියන නමින් ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා.

Dhawan දැන් ඉන්නේ කල් පනින්න ඔන්න මෙන්න අවස්ථාවක.

Dhawan කියන්නේ ඉන්දියාවෙන් බිහි වුනු බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ආරම්භක පිතිකරුවෙක්. මේ වෙද්දී Dhawanට ඉන්දීය ජාතික කණ්ඩායමේ තමන්ගේ ස්ථානය අහිමි වෙලයි තියෙන්නේ. දැන් Dhawanගේ වයස අවුරුදු 37ක්.

අද මේ මොහොත වෙද්දීත් Dhawan කියන පිතිකරුවා ඉතාම හොඳින් දක්ෂතා පෙන්වමින් සිටියත්, ඉන්දියාව හදන අනාගත ක්‍රිකට් සැලසුම්වලට Dhawanගේ නම ඇතුළත් නොවන බව නම් සෑහෙන්න පැහැදිලියි.

Dhawanට ඒ වෙනුවෙන් තියෙන එක ම බාධාව තමයි ඔහුගේ වයස. ඒ නිසා IPL පිටියේ සහ අනාගතයේ දී වෙනත් ලීග් තරගාවලිවල දී Dhawanව දැක ගන්නවා හැරෙන්න අපිට නැවත ඔහුව ඉන්දියානු ජර්සිය හැඳ ක්‍රීඩා කරනවා දකින්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්.

මෑතක ඉන්දියානු හිටපු තේරිම් කමිටු සභාපති Chetan Sharmaව අන්ත අසරණ කරමින් සිදු වුන රහස් මෙහෙයුමේ දීත් Dhawanව ඉන්දියාවේ අනාගත සැලසුම් වල නොමැති බව Sharma විසින් හෙලි කරනවා.

ඒ වගේම Dhawanනුත් ඒ බව පිළිගන්නවා.

“Shubman ක්‍රීඩා කරන විදිහ මට දැනෙනවා. ඔහු දැන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග මට වඩා ක්‍රීඩා කරනවා. මම තේරීම් කමිටු නිලධාරියෙක් වුනා නම් අනිවාර්යයෙන් ම Shubmanට අවස්ථාව ලබා දෙනවා. මම Shikharට ඉහළින් Shubmanව තෝරනවා.”

මෑතක දී Shikhar Dhawan විසින් ම ඉන්දියානු මාධ්‍යවේදියෙක් විසින් Shubman Gill සහ Shikhar Dhawan අතරින් කවුරුන් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු ද කියලා අහද්දී පිළිතුරු ලබා දෙන්නේ ඒ විදිහට.

Shikhar විසින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ ස්ථානය වෙනුවෙන් ඉන්දියාවට ඕනෑවටත් වඩා ක්‍රීඩකයින් ඉන්නවා. Shubman Gill කියන්නේ ඒ අතරින් ඉහළින් ම සිටින ක්‍රීඩකයා. Shikhar විසින් තමන් ව Gillට වඩා පහළින් තියන්නේ ඇත්තටම ද එහෙමත් නැත්නම් තමන්ගේ අනාගත උරුමය ගැන හිතට දැනෙන හැඟීම් නිසා ද කියන්න දන්නේ Shikhar Dhawan ම විතරයි.

මේ තියෙන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වුන පෝස්ට් එකක්.

Image Source - Facebookමෙහි කියනවා වගේ ම Dhawanගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය දැන් බොහෝ දුරට අවසන්, ඒ වගේ ම ඔහු සිය ප්‍රිය බිරිඳගෙන් වෙන් වුනා. ඒ වෙන් වීමෙන් පසුව ඔහුට ආසන්න වශයෙන් අවුරුදු දෙකක් තමන්ට දාව උපත ලැබූ පුතාව මුහුණට මුණ ගැහෙන්න බැරිව යනවා.

මේ හැමදේකටම පස්සෙත් Dhawan තවමත් සිනහා වෙනවා!

Shikhar Dhawan සහ Ayesha Mukherjee දෙදෙනා මුලින්ම දැන හඳුනා ගන්නේ මුහුණු පොත (Facebook) හරහා. Shikharට Ayesha ගැන හිතක් පහළ වීමෙන් පස්සේ තවත් ප්‍රසිද්ධ ඉන්දීය දඟපන්දු යවන්නෙකු වෙන Harbajan Singh විසින් ඔවුන් දෙදෙනා මුණ ගස්සන්න කටයුතු කරනවා.

Ayesha උපත ලබන්නේ 1975 වර්ෂයේ දී. Shikhar Dhawan උපත ලබන්නේ 1985 වර්ෂයේ දී. ඔවුන් අතර වයස පරතරය අවුරුදු දහයක්. ඒ වගේ ම Ayesha පළමු වතාවට විවාහ වෙන්නේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් සමඟ. ඒ 2000 වසරේ දී. 2000 වසරේ දී ම Ayesha විසින් Aliya නමින් දියණියකට උපත ලබා දෙනවා. Ayesha සහ Shikhar විවාහ වෙන්නේ 2012 වසරේ දී. ඒ වෙද්දී Shikharගේ වයස අවුරුදු 27ක්, Ayeshaගේ වයස අවුරුදු 37ක්, Ayeshaගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 12ක්.

ආදරය කියන හැඟීම ගැන කවුරු මොන විදිහේ හැඟීම්බර කතන්දර කිවුවත් ඇත්තට ම ඒ දේවල් ප්‍රායෝගික ව තම තමන්ගේ ජීවිතවලට ඇඳා ගනිද්දී මිනිසුන්ට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. Shikhar විසින් තමන්ගේ විවාහය ගැන ගත්ත තීරණයේ දීත් ඔහුගේ පියා මේ තීරණයට දැඩි ලෙස විරුද්ධ වෙනවා.

Ayesha සහ Dhawan 2012 සිට වසර 8ක් විවාහ ජීවිතය එකට ගත කරනවා. ඔවුන්ට Zoravar Dhawan නමින් පුත්‍රයෙකුත් ඉන්නවා. දැන් ඔහුට වයස අවුරුදු 9ක්. මේ දෙපළගේ විවාහය දෙදරා ගියායින් පසුව Zoravarට සිද්ධ වෙනවා තමන්ගේ මව සමඟ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න.

2020 සිට 2022 වසර තෙක් අවුරුදු දෙකක කාලයක් කොරෝනා වසංගතය නිසා සහ ජාතික කණ්ඩායම සමඟ Dhawan කාර්ය බහුල වීම නිසා ඔහුට Zoravarව දකින්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ නිසා 2022 වසරේ දී ඔහු Zoravarව මුණ ගැහීමත් බොහෝම සංවේදී ප්‍රවෘත්තියක් විදිහට එය ඉන්දීය මාධ්‍ය වලින් පළ කරනවා.

විවාහය දෙදරා යාමෙන් වසරකට පසුව Dhawan විසින් මේ සම්බන්ධය ගැන විවෘත ප්‍රකාශයක් සිදු කරනවා.

“අවසන් තීරණය තමන් සතු වූ නිසා මම අසාර්ථක වුනා. මම අනිත් අයට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. ඒ ක්ෂේත්‍රය ගැන මගේ තිබුණ නොදැනුවත්කම නිසා ම මම අසාර්ථක වුනා. ඒවා අපි දැන ගන්නේ අත්දැකීම් වලිනුයි.

හෙට, මට ආයෙත් විවාහයක් කරා යාමට අවශ්‍ය වුනොත් මට එදාට වඩා බුද්ධිමත් තීරණයක් ගන්න පුළුවන්. මම දැන් දන්නවා මගේ ජීවිතය ගත කරන්න පුළුවන් කා සමඟ ද මොන වගේ කෙනෙක් සමඟ ද කියන්න.

මට වයස අවුරුදු 26-27ක් වෙද්දී මම දිගින් දිගටම කළේ ක්‍රිකට් ක්‍රීඩා කළ එක. මම විනෝදයෙන් හිටියා. මට ආදර සබඳතා ගැන අත්දැකීම් තිබුණේ නැහැ.

ඒ නිසාම මම ආදරයෙන් බැඳුණා ම මට අනාගතය ගැන දැල්වුණු රතු එළි පෙනුණේ නැහැ. නමුත් අද මම ආදරයක බැඳුනොත් මට ඒ රතු එළි දකින්න පුළුවන්. එහෙම දැක්කොත් මට ඉවත් වෙලා යන්නත් පුළුවන්.”

Ayesha සහ Dhawan යුවල (Image Source - News18)තමන්ගේ අතීතය ගැන යම් පසුතැවීමක් සමඟ Dhawan ජීවත් වෙනවා ද කියලත් ඔහු විසින් සිදු කරන මේ ප්‍රකාශය එක්ක හිතෙන්න ගන්නවා. ඒ වගේ ම එදා ඔහුගේ පියා විවාහයට විරුද්ධ වීමට හේතුව Dhawan වසර අටකට පසුව තේරුම් ගත්තා ද කියලා හිතෙන්නේ ඔහු තමන්ගෙන් පසු පරම්පරාව වෙනුවෙන් දෙන උපදේශය සමඟින්.

“තරුණයින් ආදර සම්බන්ධයකට යොමු වුනොත් ඔවුන් එය කාලයක් තිස්සේ අත්විඳිමින් සිටිය යුතුයි. ඒක ගොඩක් වැදගත් දෙයක්. ඔවුන් සංවේදී තීරණ අර ගෙන හදිසියේ විවාහ ජීවිතයට ඇතුළත් නොවිය යුතුයි.”

Dhawan විසින් සිය විවාහය අත්හැර දැමීම ඔහුගේ රසිකයින් ව දැඩි ලෙස කම්පා කරවපු සිදුවීමක්. ඔහුගේ ජීවිතයේ සිදු වුනු ඒ අලකලංචි වලට පස්සේ ඔහුට ජාතික කණ්ඩායම සමඟ පවා එක දිගට සම්බන්ධ වෙන්න අවස්ථාව නොලැබී යන්න පටන් ගන්නවා.

2021 දී ඉන්දියාව විසින් එංගලන්තයේ කළ තරග සංචාරයක දී Dhawan වෙනුවට වෙනත් නවක ක්‍රීඩකයෙක් ඉන්දීය සංචිතයට ගෙන එන්න තේරීම් කමිටුවට අවශ්‍ය වෙනවා.

ඒ වෙලාවේ Dhawanගේ සහයට එන්නේ Virat Kohli.

“ඉන්දු – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Dhwanව සංචිතයේ තබා ගන්න ඔහුට (Kohliට) සටන් කරන්න සිදු වුනා. තේරීම් කමිටුවට අවශ්‍ය වුනේ Vijay – Hazare තරගාවලියේ දක්ෂතා පෙන්වපු වෙනත් ආරම්භක පිතිකරුවෙක් සංචිතයට ගේන්න. නමුත් ඒ වෙද්දී විස්සයි විස්ස සංචිතයේ ඉඩ අහිමි වෙලා තිබුණ Dhawanව එක්දින කණ්ඩායමට අත්‍යාවශ්‍ය බව Kohli විසින් තරයේ කියා සිටියා.”

Cricbuzz වෙතින් මේ සිදුවීම වාර්තා කරන්නේ ඒ අයුරිනුයි.

Kohliගේ දැඩි ඉල්ලීම මත කණ්ඩායමට එක් වූ Dhawan එම තරගාවලියේ පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්වන්න සමත් වෙනවා.

Dhawanගේ ක්‍රීඩා ජීවිතය නතර වීමට ගිය තැනක දී Kohliගෙන් ඔහුට ලැබුණු සහය අගය කල යුතුයි (Image Source - Facebook)ඒ වගේ ම ඉන්පසුව 2021 වසර අග භාගයේ දී Dhawan විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ඉන්දීය කණ්ඩායමේ නායකයා විදිහට. ඔහු එහි දී එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව 2-1ක් විදිහට ජයග්‍රහණය කරා මෙහෙයවන්නත් සමත් වෙනවා.

එම තරගාවලියට සමගාමීව ම පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියත් මෙහෙයවන්න Dhawanට අවස්ථාව ලැබුනත් එම තරගාවලිය නම් 2-1ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජය වෙනවා.

ඒ වගේ ම එදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගයේ දී තමයි Shikhar Dhawan අවසන් වරට ඉන්දියානු ජර්සිය සමඟින් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරන්නේ.

ඒ වගේ ම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහු අවසන් වරට එක්දින තරගයක දී ඉන්දියාව නියෝජනය කරනවා, ඒ බංග්ලාදේශයට එරෙහිව.

එතැනින් පසුව Dhawanව අපි ආයෙත් දකින්නේ 2023 IPL තරගාවලියේ දී. ඔහු මෙවර Punjab Kings කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරනවා. ඒ විතරක් ම නෙවෙයි ඔහු මෙවරත් වෙන දා වගේ ම පිත්තෙනුන් සෑහෙන්න සාර්ථක වෙලා තියෙනවා.

මෙවර IPL තරගාවලියේ (මේ ලිපිය ලියන මොහොත වෙද්දී) දෙවැනියට ඉහළ ම ලකුණු ලාභියා වෙන්නේ Dhawan, ඔහු විසින් ඉනිම හතරක් පමණක් ක්‍රීඩා කරලා ලකුණු 233ක් ලබා ගන්න සමත් වෙන්නේ තමන්ගේ ඉහළ ම ලකුණ (ඉනිමක ලබා ගත්) විදිහට නොදැවුණු ලකුණු 99ක් ලබා ගන්නා අතරේයි. මෙහි දී ඔහු විසින් Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව ලබා ගත් මේ ලකුණු 99 IPL ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් දියත් කළ විශිෂ්ටතම ඉනිම්වලින් එකක් විදිහට සැකයකින් තොරව හඳුන්වලා දෙන්න පුළුවන්.

ඔහුගේ මෙවර IPL දක්ෂතා ඉදිරියේ දීත් මේ විදිහට ම පෙන්වන්න හැකියාවක් ලැබුනොත් නම් අපිට Dhawanගේ අනාගතය ගැන බලාපොරොත්තුවක සේයාවක් හෝ තියා ගන්න පුළුවන්.

ඒත් ඇත්තට ම වෙන්න පුළුවන් දේ ඒක නෙවෙයි කියලා යටි හිත සැරින් සැරේ කොඳුරන බවත් නොලියා ම බැහැ.

Dhawanට අකමැති ක්‍රිකට් රසිකයින් පිරිස සාපේක්ෂව සෑහෙන්න අවමයි. අපි Virat Kohli, Rohit Sharma හෝ MS Dhoni ගැන කතා කරද්දී අපිට ඒ කතාව කියන්න බැහැ. නමුත් Dhawan කියන්නේ කාගෙත් ආදරය දිනා ගත්තු ක්‍රීඩකයෙක්. ඒ නිසාම බොහෝ ක්‍රිකට්

ප්‍රේක්ෂකයින් වගේ ම ක්‍රිකට් ක්‍රීඩකයින් පවා අද Dhawanට ලැබෙන සැලකිල්ල පිළිබඳ ව සෑහෙන්න කනගාටු වෙනවා.

ඔවුන් සමහරු ඒ වෙනුවෙන් කතා කරනවා, Dhawanගේ පිත්තත් ඒ අතරේ කතා කරනවා. ඒ කිසිම දෙයක් නෑසෙන ගාණට ඉන්දීය තෙරීම් කමිටුව සහ BCCIය විසින් ඔහේ වෙනතක් බලා ගෙන ඉන්නවා!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<