වසර 10ක වාර්තාවක් අලුත් කරමින් ඉන්දියාව සාර්ථක ආරම්භයක් ගනී

264

බොර්ඩර් – ගවස්කාර් කුසලානය වෙනුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (10) ඇඩිලේඩි  හිදී නිමා වූයේ ලකුණු 31ක තියුණු ජයක් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට හිමිකර දෙමිනි. එම ජයග්‍රහණය සමඟ 2008 වසරට පසුව ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ දී ඔවුන්ට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගත් පළමු අවස්ථාව ද මෙය වේ.

හෝප් ප්‍රමුඛ කොදෙව්වන්ගේ බලාපොරොත්තු රහීම් විනාශ කර දමයි

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය නායක විරාත් කෝලී තීරණය කළ ද කිසිවෙක් නොසිතූ ලෙස ලකුණු 41ක් තුළ ඔවුන්ගේ ප්‍රබල කඩුලු 4ක් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

අනෙක් පසින් කඩුලු එකින් එක් බිඳ වැටුණ ද තම අන්තය ආරාක්‍ෂා කරගත් දකුණතින් පිත්ත හසුරුවන චෙතේෂ්වර් පුජාරා සිය 16 වැනි ටෙස්ට් ශතකය ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 250 සීමාව කරා රැගෙන යාමට සමත් වූයේ 4 පහර 7ක් හා 6 පහර 2ක් සමඟින් පන්දු 246ක් තුල ලකුණු 123ක් ලබාගෙනයි.

ලකුණු 127කට කඩුලු 6ක් දැවී තිබිය දී හත්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ චෙතේෂ්වර් පුජාරා සහ රවිචන්ද්‍රන් අශ්වින් එක්ව ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පැට් කමින්ග්ස් විසින් අහුලා ගත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පුජාරාගේ කඩුල්ල දැවී  ගියේ ඉන්දීය පළමු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසයි.

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් දවා ගන්නා විට මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ග්ස් සහ පිට දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කරගත් ලකුණු 250ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 235ක් පමණි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පළමු ඕවරයේ තෙවැනි පන්දුවේ දී පිටියෙන් ඉවත් කිරීමට ඉශාන්ට් ශර්මා සමත් වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට ඉන්දීය පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ලකුණු 127කට කඩුලු 6ක් දැවී ගොස් අසරණව සිටි ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූ ට්‍රැවිස් හෙඩ් හත්වැනි කඩුල්ල සඳහා පිටියට පැමිණි පැට් කමින්ග්ස් සමඟින් එක්ව ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනගමින් කඩා වැටුණු ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ගොඩනැගීමට  සමත් විය.

ශ්‍රී ලංකාවට නවසීලන්ත උඳුවප් සීතලේ උණුසුම් විය හැකි වේද?

ඇඩිලේඩි තණතීරුව වේගපන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය වුවද දඟපන්දුවෙන් තම දක්ෂතාවය විදහා දැක්වීමට සමත් වූ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවා ගත්තේය. ඉශාන්ට් ශර්මා සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් දවා ගනිමින් ඕස්ට්‍රේලියා පිතිකරුවෝ සාර්ථකව මෙල්ල කිරීමට සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානු පළමු ඉනිම නිමා වූයේ ලකුණු 15ක පළමු ඉනිමේ අවාසියක් ද අතැතිවයි.

ඉන් අනතුරුව සිය පිළිතුරු දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන ලෝකේශ් රාහුල් හා මුරලි විජේ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සාර්ථක සබඳතාවයක් එක් කරන ලදි. 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 44ක් ලබා සිටි රාහුල් හා ලකුණු 18ක් ලබා සිටි විජේ දැවී ගිය පසුව පිටියේ එක්වූ නායක කෝලි හා චෙටේස්වාර් පුජාරා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවයක් ගොඩනංවමින් පළමු ඉනිමට සාපේක්ෂව ඉන්දීය ඉනිම යම් ඉහළ තැනකට ඔසවා තබා ලදි.

විරාත් කෝලි ලකුණු 34කට දැවී ගිය නමුත් පළමු ඉනිමේ දී ශතකයක් ලබාගෙන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට හිසරදයක් වූ පුජාරා මනරම් 4 පහර 9ක් එල්ල කරමින් ලකුණු 71ක් ලබා ගත්තේ සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 20 වැනි ටෙස්ට් අර්ධ ශතකයත් ලබා ගෙනයි. පිටියේ විනිසුරු නයිජල් ලොන්ග් මහතා විසින් පුජාරා දැවී ගිය ක්‍රීඩකයකු ලෙස දෙවරක්ම නම් කළ නමුත් තෙවැනි විනිසුරුගේ සහාය ඇතිව එම අවස්ථාවන් දෙකම නැවතත් අභියෝගයට ලක් කිරීම නිසා තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට පුජාරා හට හැකි විය.

ඉන්දීය උපනායක අජින්ක්‍යා රහනේ හතරේ පහර 7ක් සහිතව ලකුණු 70ක් ලබා ගත් අතර පුජාරා හා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් වර්ධනය කිරීමට  ඔවුන් දෙදෙනා සමත් විය. ඉන්දීය පිල සිය දෙවැනි ඉනිමේ එක මොහොතක කඩුලු 6ක් දැවී ලකුණු 303ක් ලබා සිටිය ද අවසන් පිතිකරුවන් හතර දෙනාම ලකුණු 4ක් ඇතුළත දැවී යාම නිසා ඉන්දීය දෙවැනි ඉනිමට ලකුණු 307 දී නැවතීමේ තිත වැටුණේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 323ක ඉලක්කයක් ඉදිරිපත් කරමිනි.

පිට දඟපන්දු යවන නේතන් ලයන් ලකුණු 122කට කඩුලු 6ක් දවා ගන්නා විට වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කඩුලු 3ක් දවා ගත්තේය.

ඕස්ට්‍රේලියා පළමු ඉනිමට සාපේක්ෂව ඔවුන්ගේ දෙවන ඉනිමේ දී පළමු කඩුලු 3 තුල ලකුණු 60ක් රැස්කර ගැනීමට ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් සමත් විය. වමතින් පිතිකරණයේ නිරත වන ෂෝන් මාෂ් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්  පන්දු 166ක් තුල සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 10 වන ටෙස්ට්  අර්ධ ශතකය සපුරා ගත්තේ 4 පහර 5ක් සමඟ ලකුණු 60ක් ලබා ගනිමිනි.

ලකුණු 323ක තරගකාරී ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 76 වන කඩුල්ල ලෙස මාෂ් දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවකටයි. පසුව ඕස්ට්‍රේලියානු පසුපෙළ තවදුරටත් සවිමත් කළ ටිම් පෙයින් 4 පහර 4ක් සමඟ ලකුණු 41ක් ලබාගෙන සිටිය දී ඉනිමේ 7 වන කඩුල්ල ලෙස දැවී ගියේය.

පාකිස්තානයේ යසීර් ෂා වසර 82ක වාර්තාවක් බිඳ දමයි

පාකිස්තානයේ සුපිරි පා දඟපන්දු යවන ක්‍රීඩකයෙක් …

ඉන්පසුව ඉන්දීය කණ්ඩායමට ඉතාමත් හොඳ සටනක් ලබා දුන් පැට් කමින්ග්ස්, මිචෙල් ස්ටාර්ක්, නේතන් ලයන් හා ජොෂ් හේසල්වුඩ් යන ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් ඉතාමත් හොඳ පිතිකරණ රටාවක් දියත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය අභියසටම රැගෙන ආ නමුත් රවිචන්ද්‍රන් අශ්වින් එවූ පන්දුවකට ලකුණු 13ක් ලබා සිටි හේසල්වුඩ් දැවී යාමත් සමඟම දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්විය.

පන්දු යැවීමේ දී මොහොමඞ් ෂාමි, ජස්ප්‍රීට් බුම්රා හා රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

මේ තරගයේ දී ඉන්දීය යොවුන් කඩුලු රකින  ක්‍රීඩක රිශාබ් පන්ට් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පුරාවට උඩ පන්දු 11ක් රැක ගනිමින් මෙතෙක් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරගයක දී වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයා බවට පත්වූයේ ලොව මෙතක් පවත්වා තිබෙන එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක දී  රැකගෙන තිබෙන උඩපන්දු රැකීමේ වාර්තාව සම කරමිනි.

ඉන්දීය පළමු ඉනිම – 250 (88): චෙතේෂ්වර් පුජාරා 123, රෝහිත් ශර්මා 37, රිෂාබ් පාන්ට් 25, රවිචන්ද්‍රන් අශ්වින් 25, ජොෂ් හේසල්වුඩ් 3/52, පැට් කමින්ග්ස් 2/49, මිචෙල් ස්ටාර්ක් 2/63, නේතන් ලයන් 2/83.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 235 (98.4): ට්‍රැවිස් හෙඩ් 72, පීටර් හැන්ඩ්ස්කෝම්බ් 34, උස්මාන් කවාජා 28, රවිචන්ද්‍රන් අශ්වින් 3/57, ඉශාන්ට් ශර්මා 2/47, ජස්ප්‍රීට් බුම්රා 2/47, මොහොමඩ් ශාමි 2/58.

ඉන්දීය දෙවැනි ඉනිම – 307 (106.5): චෙතේෂ්වර් පුජාරා 71, අජින්ක්‍යා රහනේ 70, ලෝකේෂ් රාහුල් 44, විරාත් කෝලි 34, නේතන් ලයන් 6/122, මිචෙල් ස්ටාක් 3/40.

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම – 291 (119.5): ෂෝන් මාෂ් 60, ටිම් පෙයින් 41, නේතන් ලයන් 38*, මොහොමඞ් ෂාමි 3/65, ජස්ප්‍රීට් බුම්රා 3/68, රවිචන්ද්‍රන් අශ්වින් 3/92.

තරගයේ වීරයා – චෙතේෂ්වර් පුජාරා (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා පර්ත් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. එහි තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<