IPL ලංකාවේ තියන්න ඉන්දීය ප්‍රබලයෙක්ගේ කැමැත්ත

3632
Sunil Gavaskar

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) පවත්වන්නේ නම් ඒ සඳහා හොඳම ස්ථානය ශ්‍රී ලංකාව බව ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් පවසා සිටියි.

>> COVID නිසා දැම්ම අලුත් යෝජනාවලට ICC අනුමැතිය

ඔක්තෝබර් 18 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වනවා ද නැති ද යන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තවමත් නිල වශයෙන් පවසා නොමැති නිසා ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට ද IPL තරගාවලිය පිළිබඳව අවසන් තීරණයකට එළඹීම අපහසුව තිබේ.

කෙසේ නමුත් මේ වන විට ඕස්ට්‍රේලියාව සාර්ථකව කොරෝනා වයිරස වසංගත තත්වය  මැඩපවත්වා තිබෙන නිසා එම තරගාවලිය පෙර සැලැස්ම කර පරිදීම පැවැත්වීමට වැඩි හැකියාවක් තිබෙන බව ද ගවස්කාර් සිය ප්‍රකාශයේ දී වැඩිදුරටත් පවසා ඇත.

>> ක්‍රිකට් බුකීකරුවන්ගේ නවතම දඩබිම පිළිබඳ ICCයෙන් හෙළිදරව්වක්

“ICCය විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම තවදුරටත් ප්‍රමාද කර තිබෙන නිසා IPL ගැන හරියටම තීරණයක් ගන්නත් අමාරුයි. හැබැයි ලෝක කුසලානය කල් ගියොත් අනිවාර්යයෙන්ම IPL තරගාවලිය ක්‍රීඩා කරාවි. හැබැයි එය ඉන්දියාව තුල පවත්වන එක එතරම් සුදුසු නැහැ. 

ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් කොරෝනා වසංගත තත්වය, අනෙක් එක තමයි සැප්තැම්බර් කාලයේ පවතින මෝසම් වැසි කාලගුණික තත්වය ඒ ඔක්කොම බැලුවහම සැප්තැම්බර් මාසයේ දී IPL තරගාවලිය ක්‍රීඩා කරනවා නම් ශ්‍රී ලංකාව තුල එම තරගාවලිය පවත්වන එක ඉතාමත් වාසි සහගත වෙනවා” යැයි ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සහ නායක ගවස්කාර් ඉන්දීය නාලිකාවක් සමඟ පැවති රූපවහිනීමය වැඩසටහනක දී පවසන ලදි.

කෙසේ නමුත් 2020 IPL තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද විශාල සටනක් දෙන බව වාර්තා වේ. ගවස්කාර් වැනි ක්‍රිකට් ලොව පිළිගත් පුද්ගලයෙක් ශ්‍රී ලංකාව තුල IPL තරගාවලිය පැවැත්වීම සුදුසු යැයි පැවසීම එම සටනින් ශ්‍රී ලංකාවට වැඩි වාසියක් හිමි වන බව ක්‍රිකට් විචාරකයෝ මත පළ කර සිටිති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<