Messiට සහ Ronaldoට එකට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමිව ගිය හැටි

80
Ronaldo could have Joined Messi at Barcelona in 2009

Manchester United විසින් Cristiano Ronaldoව 2009 වසරේ දී FC Barcelona වෙත විකුණා දැමීමට ඉතා ආසන්නව සිටි බව වාර්තා වේ. 

පෘතුගාලයේ Sporting CP කණ්ඩායමේ සිට 2003 වසරේ දී Manchester United පාපන්දු සමාජය වෙත පැමිණි Ronaldo එහිදී එහි ප්‍රධාන පුහුණුකරු Sir Alex Fergusonගේ මාර්ගෝපදේශකත්වය යටතේ වසර 6ක කාලයක් පුරාවට පාපන්දු ලොව දක්ෂතම ක්‍රීඩකයෙකු බවට වර්ධනය වූයේ UEFA Champions League ශූරතාවය, අඛණ්ඩ Premier League ශූරතා 3ක්, ඔහුගේ පළමු Ballon d’Or ශූරතාවය සහ තවත් ශූරතා හා සම්මාන රාශියක් දිනා ගනිමිනි. අනතුරුව 2009 වසරේ දී ඔහු ඒ වන විට ලෝක වාර්තා ගත පවුම් මිලියන 80ක මුදලකට ස්පාඥ්ඥයේ ප්‍රබල Real Madrid පාපන්දු සමාජය සමඟ එක්විය. 

කෙසේ නමුත් පළවන වාර්තා වලට අනුව එවිට Ferguson හට අවශ්‍යව තිබී ඇත්තේ Ronaldoව Real Madrid වෙත නොව ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන ස්පාඥ්ඥයේම FC Barcelona පාපන්දු සමාජය වෙත විකුණා දැමීමට යි. ඊට පෙර 2008 වසරේ දී Ferguson විසින් පවසා තිබුනේ ඔහු Real Madrid වෙත ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයා තියා වෛරසයක් හෝ ලබානොදෙන බවයි. කෙසේ නමුත් ඒ වන විට Ronaldoගේ විකුණුම් මිලට ඔහුව ලබා ගැනීමේ හැකියාව තිබුනේ ද Barcelona සහ Real Madrid කණ්ඩායම් ද්විත්වයට පමණි. ඒ අනුව Manchester United පරිපාලනය විසින් Barcelona වෙත Ronaldo වෙනුවෙන් මිලක් නියම කරන ලෙස දැන්වීමට ද ඒ වනවිට කටයුතු කර තිබුනි. 

මෙම සැලැස්ම Ferguson සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක වූවා නම් අපට Ronaldo සහ Messi එකට Barcelona කණ්ඩායම නියෝජනය කරනු දැකීමේ අවස්ථාව උදා වන්නට ඉඩ තිබුනි. ඒ වන විටත් ඔවුන් දෙපළ පාපන්දු ලොව දක්ෂතම ක්‍රීඩකයින් ලෙස ඉදිරියෙන්ම සිටි අතර ඉන් වසර 11කට පසුව අදටත් පාපන්දු ලොව ප්‍රබලතම ක්‍රීඩකයින් දෙපළ ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන සිටින්නේ ද ඔවුන් දෙදෙනා වීම විශේෂත්වයකි. ඒ අනුව Ronaldo 2009 වසරේ දී ඒ ආකාරයට Barcelona සමඟ එක්වූවා නම් Messi-Ronaldo සුසංයෝගය හරහා ඔවුන් වසර ගණනාවක් පුරාවට යුරෝපයේ සිය ආධිපත්‍ය පතුරුවා ගන්නා කණ්ඩායමක් බවට පරිවර්තනය වනු නොඅනුමාන ය. 

කෙසේ නමුත් මෙහිදී Ronaldo විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහුට Real Madrid කණ්ඩායම සමඟ එක්වීමට අවශ්‍ය බව තරයේ ප්‍රකාශ කරමිනි. ඒ අනුව ඔහු අවසානයේ ඔහුගේ කැමැත්ත මත Real Madrid සමඟ එක්වූයේ ඔහු සහ Messi එකම කණ්ඩායමේ ක්‍රීඩා කරනු දැකීමේ අවස්ථාව පාපන්දු ලෝලීන් හට අහිමි කරමිනි. 

එහිදී ඊට පෙර තරගවාරය Barcelona කණ්ඩායම Pep Guardiolaගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ තරග කරනු ලැබූ පළමු තරගවාරය වූ අතර එහිදී ඔවුන් ඔවුන්ගේ ප්‍රසිද්ධ පාපන්දු ශූරතාවන් 6 (sextuple) දිනා ගැනීමට සමත් වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදීන් වන Real Madrid හට නැවතත් ඉදිරියට පැමිණීමට අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් විය. ඒ අනුව ඔවුන් 2009 වසරේ දී Ronaldo, Kaka සහ Xabi Alonso ප්‍රබල ක්‍රීඩකයින් ත්‍රිත්වය එක්කර ගනු ලැබූ අතර අනෙක් පසින් Barcelona විසින් Samuel Eto’oව Inter Milan වෙත මාරුකර ඔවුන්ගෙන් ප්‍රබල ක්‍රීඩක Zlatan Ibrahimovicව එක්කර ගනු ලැබීය. 

තවත් කියවන්න; 

අනතුරුව ස්පාඥ්ඥයේ Ronaldoගේ මංගල තරගවාරය වූ 2009-10 තරගවාරයේ සියලුම තරගාවලි වලදී ඔහු ගෝල 33ක් වාර්තා කරගනිමින් විශිෂ්ට දස්කම් දැක්වුවත් එවර ද La Liga ලීග් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ Barcelona කණ්ඩායම යි. 

කෙසේ නමුත් සමස්තයක් ලෙස Messi-Ronaldo තරගකාරීත්වය වර්ධනය වන්නට, ඔවුන් දෙදෙනා එකිනෙකට දැඩි විරුද්ධ කණ්ඩායම් දෙකක් නියෝජනය කිරීම බෙහෙවින් ඉවහල් වූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා එකට Barcelona කණ්ඩායමේ ක්‍රීඩා කළේ නම් පාපන්දු ලෝලීන් හට ඔවුන් දෙදෙනාගේ ප්‍රතිවිරුද්ධ තරගකාරීත්වය දැකගැනීමට අවස්ථාව නොලැබී යනු ඇත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<