“බ්‍රසීලයේ Ronaldo පෘතුගාල Ronaldoට වඩා හොඳයි”

114

බ්‍රසීලයේ Ronaldo Nazario සහ පෘතුගාලයේ Cristiano Ronaldo අතර සංසන්දනයකට ඉතාලියේ හිටපු ක්‍රීඩක Christian Vieri පසුගිය දා පිළිතුරු ලබා දී තිබුණි. 

ඒ අනුව එහි දී අදහස් දක්වමින් ඉතාලියේ Inter Milan පාපන්දු සමාජයේ හිටපු ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Vieri පවසා ඇත්තේ Cristianoට වඩා බ්‍රසීල Ronaldo ප්‍රබල සහ භයානක ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන බවයි. ගෝල වාර්තා කිරීමේ කලාවට අදාළව Ronaldo දෙපළම අතිදක්‍ෂයින් වන අතර ඒ අනුව ඔවුන් දෙදෙනා ඔවුන් ක්‍රීඩා කරනු ලැබූ සහ ක්‍රීඩා කරනු ලබන යුගවල ඊට අදාළව සිය අණසක පතුරුවා ගන්නට සමත් වූ බව නොරහසකි. 

ඒ අනුව O Fenomeno යන විරුදාවලිය ලත් බ්‍රසීල Ronaldo 1990 මැද භාගයේ පමණ සිට 21 වැනි සියවසේ මුල් වසර කිහිපය තුළ බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම හා PSV Eindhoven, FC Barcelona, Inter Milan සහ Real Madrid කණ්ඩායම් නියෝජනය කරමින් ගෝල 414ක් වාර්තා කර ගනු ලැබුවේ පාපන්දු ලොව හොඳම ගෝල වාර්තා කරගන්නන් අතරට සිය නාමය එක්කර ගනිමිනි.

ඊට අමතරව 1994 සහ 2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලි ද්විත්වය සහ Ballon d’Or සම්මානය දෙවරක් ඇතුළු තනි සහ කණ්ඩායම් ශූරතා රාශියක් ද තවදුරටත් සිය පාපන්දු දිවිය තුළ දිනා ගන්නට ඔහු සමත් විය. 

අනෙක් පසින් Cristiano විසින් Manchester United සහ Real Madrid සමඟින් සුපිරි දස්කම් දක්වා මේ වන විට ඔහු Juventus පාපන්දු සමාජයේ ද ඉහළ දස්කම් දක්වමින් සිටින්නේ ගෝල 725ක් වාර්තා කරගනිමින් පෘතුගාල ජාතික කණ්ඩායම සමඟ Euro 2016 තරගාවලිය ශූරතාව හා පාපන්දු සමාජ සමඟ UEFA Champions League ශූරතාව 5 වරක් සහ Ballon d’Or සම්මානය 5 වරක් ඇතුළු තවත් සම්මාන සහ ශූරතාවලි රැසක් ජයග්‍රහණය කරමිනි. 

කෙසේ නමුත් වසර ගණනාවක් පුරාවට Inter Milan කණ්ඩායමේ දී බ්‍රසීල Ronaldo සමඟ එක්ව ඔවුන්ගේ ඉදිරිපෙළ ශක්තිමත් කළ Vieri පවසා සිටින්නේ ඔහු Cristianoට වඩා ප්‍රබල ක්‍රීඩකයෙකු වූ බවයි.

“Ronnie මගේ හොඳ යාළුවෙක්. ඔහුත් සමඟ ඉදිරිපෙළ ක්‍රීඩා කරන්න මට ලැබී තිබීම මගේ ලොකු වාසනාවක්. ඔහු සම්පූර්ණ ක්‍රීඩකයෙක්. වේගය, ජවය, ශක්තිය ඒ හැම දෙයක් ම ඔහු ළඟ තිබුණා. ඔහු ක්‍රීඩා කරනකොට හරියට නර්තන ශිල්පියෙක් වගේ. පන්දුවත් සමඟ නර්තනයේ යෙදෙනවා වගේ අපිට පෙනුණේ ඔහු ක්‍රීඩා කරන විදිහ. ඒ නිසා මම හිතනවා බ්‍රසීල Ronaldo හොඳ ක්‍රීඩකයෙක් කියලා Cristiano Ronaldoට වඩා.”

කෙසේ නමුත් මෙහි දී Vieri විසින් Cristianoව ද අගයමින් තවදුරටත් අදහස් දක්වන්නට විය. 

“Cristiano හරියට යුද මැෂිමක් වගේ. ඔහු මේ වෙනකන් දක්වලා තියෙන දක්ෂතාවලට වගේම තවදුරටත් දක්වන දක්ෂතාවලට ඇගයීමට ලක්විය යුතුයි. ඉතාලියේ අය කියනවා වගේ ඔහුට අවුරුදු 40 වෙනකන් වුනත් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔහු කායික වශයෙන් ගොඩක් ශක්තිමත්.”

තවත් කියවන්න;

Juventus, Atletico Madrid, Lazio, Inter Milan සහ A. C. Milan ඇතුළු තවත් යුරෝපය පුරා ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජ ගණනාවක් තුළ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ Vieri මෙහි දී ඔහුට ගුරුහරුකම් ලබා දුන් හොඳම පුහුණුකරුවන් පිළිබඳව ද අදහස් දක්වන්නට විය. 

“Juventus කණ්ඩායමේ Marcelo Lippi ඒ අතරින් හොඳම පුහුණුකරුවෙක්. ඔහු හරියට මගේ දෙවන පියා වගේ. ඒ වගේම Turin වල යොවුන් කණ්ඩායම්වල මට පුහුණුවීම් කටයුතු කළ Rosario Rampanti සහ Emiliano Mondonicoත් හොඳ පුහුණුකරුවන්. තවදුරටත් Cesare Maldini වත් මෙහි දී මතක් කළ යුතුමයි. ඔහු තරුණ ක්‍රීඩකයන් ගැන විශ්වාසයක් තැබූ විශිෂ්ට ක්‍රීඩකයෙක්.”  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<