පසිඳු සහ රුමේෂ් ලෝක ශූරතා ගමන නිමා කරයි

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය

240

කොලොම්බියාවේ Cali හී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසිකිරීම සහ තුන් පිම්ම පැනීමේ අවසන් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ පසිඳු මල්ෂාන් සහභාගී වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) අලුයම පැවති පිරිමි තුන් පිම්ම ඉසව්ව සඳහා පසිඳු මල්ෂාන් සුදුසුකම් ලැබුවේ මූලික වටයේ දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය (මීටර් 15.73) දක්වමිනුයි.

ඔහුට අවසන් වටයේ දී එම දස්කමට ළඟා වීමට නොහැකි වූ අතර අවසන් වටයේ දී ඔහු දැක්වූ හොඳම දක්ෂතාවය මීටර් 15.14ක් ලෙස සටහන් වුනා.

එම දස්කම සමඟින් ඔහු එකළොස්වැන්න ලෙස සිය තරගය අවසන් කළ අතර ඔහුගේ ලෝක ශූරතා ගමන ද ඒ සමඟින් අවසන් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුයම් කාලයේ තරග වැදුණු රුමේෂ් තරංග මූලික වටයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනේ මීටර් 70.68ක දස්කමක් සමඟ ජාතික කනිෂ්ඨ වාර්තාව ද අලුත් කරමිනුයි.

ඔහුට ද අවසන් තරගයේ දී එම දස්කමට ළඟා වීමට නොහැකි වූ අතර එම වටයේ දී ඔහු මීටර් 69.98ක උපරිම දස්කමක් වාර්තා කළා.

එම දස්කම සමඟින් සිය ඉසව්වේ හත්වැන්නා වෙමින් රුමේෂ් ලෝක ශූරතා ගමන අවසන් කළා.

මෙවර කනිෂ්ඨ ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් සියල්ලම සටන්කාමී දස්කම් දැක්වුවා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නියමිත කාලයට ගුවන් ටිකට් පත් නොලැබීම නිසාවෙන් ලෝක ශූරතාවයට සහභාගී වීම විටෙක අවිනිශ්චිත වී තිබූ අතර එම ගැටලු විසඳීමෙන් පසුව ද ඔවුන් තරගාවලියට පිටත්ව ගියේ අවසන් මොහොතේ දීයි.

එම නිසාවෙන් තරගාවලියේ ශ්‍රී ලාංකික බලාපොරොත්තුවක් වූ හිරූෂ හශේන් හට සිය ඉසව්වට සහභාගී වීම අහිමි වූ අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයට තරගයට සහභාගී වීමට සිදු වුනේ නිසි විවේකයකින් තොරවයි.

එවැනි අභියෝග මැද ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් අගය කළ යුතුයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<