ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරු ගැන තීරණයක්

224

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස එම තනතුරේ වර්තමානයේ කටයුතු කළ හිටපු ක්‍රීඩිකා නාලිකා ප්‍රසාදි මහත්මිය නැවත වතාවක් පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.  

ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කර ගනිමින් නව දැල්පන්දු පුහුණුකරුවෙකු පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කළ අතර එම තනතුරු සඳහා අත්දැකීම් බහුල පුහුණුකාරිණියන් කිහිපයක්ම ඉල්ලුම් කළ බව වාර්තා වුනා. 

පසුව එම තනතුර සඳහා නැවත වරක් නාලිකා ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමට සම්මේලන බලධාරීන් කටයුතු කර තිබෙන අතර ඇයගේ පුහුණුකාරිත්වය යටතේ දැල්පන්දු කණ්ඩායම නිමා වූ Nations Cup තරගාවලියට සහභාගී වුනා. 

ඒ අනුව මෙම සේවා දිගුවත් සමඟ 2024 වසරේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවය ඇයගේ ප්‍රධාන ඉලක්කය ලෙස හැඳින්වීමට හැකි අතර වත්මන් ආසියානු දැල්පන්දු ශූරයින් වන්නේ ශ්‍රී ලංකාවයි.  

1993 සිට 2003 දක්වා දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ නාලිකාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 1997 දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කළා.  

පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් බහුල පුහුණුකාරිණියක වන නාලිකා ප්‍රසාදි මහත්මිය යුද හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙසත් තිලකා ජිනදාස මහත්මිය යටතේ යටතේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.  

එමෙන්ම පරිපාලනයේ ද හසළ අත්දැකීම් ඇති ඇය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සහ පුත්තලම දිස්ත්‍රික් දැල්පන්දු සම්මේලනයේ ලේකම් ලෙස කටයුතු කළා. 

ජාතික දැල්පන්දු කණ්ඩායම සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරග දෙසැම්බර් 21 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහි දී උස අඩි 5 අඟල් 8ට වැඩි ක්‍රීඩිකාවන්ට වැඩි අවධානයක් ලබා දෙන බව ද වාර්තා වෙනවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>>තවත්ක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<