සංජනා සහ නිසංසලාගෙන් අර්ධ ශතක

19න් පහළ බාලිකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

119
Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ බාලිකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමේ සංජනා කාවින්දි ඊයේ (8) සමත් වුනා.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දු 63කට මුහුණ දුන් සංජනා තරගය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා.

පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 154ක් ලබා මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත් වුනා.

සංජනාට අමතරව ලකුණු අතරට පිවිසි සුමුදු නිසංසලා පන්දු 57ක දී නොදැවී වේගවත් ලකුණු 70*ක් ලබා ගන්නට සමත් වුනා. සංජනාගේ ඉනිමට 4 පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වන විට සුමුදු තම ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී දඹුල්ල කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 59ක් පමණයි. ඒ අනුව ලකුණු 95ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමට අවස්ථාව ලැබුණා.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්, වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්, සුමුදු නිසංසලා සම්මාන දිනා ගත්තා.

මේ අතර දිනයේ පැවති අනෙක් තරගය වූ ගාල්ල පිටත සහ කොළඹ උතුර අතර තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම තවදුරටත් සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී ලකුණු 89ක ඉලක්කයක් හඹා ගිය කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 11.5ක් පමණක් වැය කරමින් සිය ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 4ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

මෙම තරගයේ දී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ උමායා රත්නායක ගාල්ල පිටත කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 9ක් ඇතුළත දී දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගන්නට සමත් වුනා.

දඹුල්ල සහ ගාල්ල අතර තරගය,

ගාල්ල කණ්ඩායමට ලකුණු 95ක ජයක්

  • ගාල්ල – 154/1 (20): සුමුදු නිසංසලා 70*, සංජලා කාවින්දි 54*
  • දඹුල්ල – 59/6 (20): බුද්ධිනී දිසානායක 27, විහාරා සෙව්වන්දි 3/09

දක්ෂතම ක්‍රීඩිකාව – සුමුදු නිසංසලා

ගාල්ල පිටත සහ කොළඹ උතුර කණ්ඩායම,

කොළඹ උතුරට කඩුලු 6ක ජයක්

  • ගාල්ල පිටත – 89 (18.2): රශ්මිකා සෙව්වන්දි 41, හිරුෂි ලංකා 11, උමායා රත්නායක 4/09, විදුෂිකා පෙරේරා 2/09
  • කොළඹ උතුර – 90/4 (11.5): හසිනි වෙදසිංහ 23, නිකේෂා වෙදගේ 23, ඉමල්ෂි යසාරා 19

දක්ෂතම ක්‍රීඩිකාව – උමායා රත්නායක (කොළඹ උතුර)

තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<