මීටර් 100 වාර්තා තබා ලකුණු 100න් ද වාර්තා තැබූ විෂ්මිත විෂ්මි

2545

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ List  A ලැයිස්තුවේ ළාබාලතම ශතකලාභිනිය ලෙස අභිෂේක ලැබීමට සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විෂ්මි ගුණරත්න පසුගිය දා සමත් වුනා. ඒ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 112 හේතුවෙන්.

තවමත්15 වැනි වියේ පසුවන ඇය ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොවේ දක්ෂ කෙටි දුර දිවීමේ ක්‍රීඩිකාවක් ලෙසින් ද දක්ෂතා දක්වනවා. මේ ඇය ගැන ThePapare.com තබන සටහනක්.

විෂ්මි පාසල් යන්නේ ගම්පහ රත්නාවලි බාලිකාවට. රත්නාවලියේ ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම මලල ක්‍රීඩා කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකාවක්. ඒත් ඉතිං විෂ්මි ගැන විෂ්මයෙන්, විශේෂයෙන් කතා කරන්න ගන්නේ සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක්ව පෑ දක්ෂතාව හේතුවෙන්. 

කතාබහට ලක්වෙන තරගය පැවැත්වෙන්නෙ කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. කාසියේ වාසිය සංචාරක ක්‍රීඩිකාවන්ගේ අදහස වූයේ සත්කාරකයන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් ඉලක්කය හඹා යෑම. නමුත් මේරියන්ස් කණ්ඩායමේ නායිකාව ඔවුන්ගේ බලාපොරොත්තු තරම සසල කිරීමකට ලක් කළා. චමරි ශතකයක් ලබා ගත් අතර මේරියන්ස් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 269ක් ලබා ගත්තා. 

ලකුණු 270ක හඹා යන ඉලක්කයක් සහිත ඉනිම ආරම්භ කළේ විෂ්මි ගුණරත්න සහ නෙත්මි පූර්ණා. නමුත් ඔවුන්ගේ ගමන ලකුණු 27කින් නිමා කිරීමට චමරි අතපත්තු සමත් වෙනවා. එක් අන්තයක් වගකීම කරට ගත් විෂ්මි ඉන් අනතුරුව පිටියට පිවිසි ඉමේෂා දුලානි සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් ද සහ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායිකා කවීෂා දිල්හාරි සමඟ ලකුණු 58ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. 

සිව්වැනි කඩුල්ලේ දී ඇය දැවී යන විට සීනිගම ක්‍රීඩිකාවෝ 37 වැනි පන්දුවාරයට මුහුණ දෙමින් සිටි අතර ඔවුන්ගේ ලකුණු පුවරුව 199ක්ව තිබුණා. එම කඩුල්ල වෙනුවෙන් ඇය පියුමි වත්සලා සමඟ ලකුණු 30ක සබඳතාවක් ද එක් කර තිබුණා.

“මට අවශ්‍ය වුනේ තරගය අවසන් වෙන තුරු ක්‍රීඩා කරන්න. විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යන්න තිබුණ නිසා අපිට ඉක්මනට ලකුණු ගන්නත් අවශ්‍ය වුනා. ඒත් ඒක එච්චර ලේසි වුනේ නැහැ. චමරි අක්කා ඇතුළු පළපුරුදු අය අපිට උපරිම පීඩනය දුන්නා. එම පීඩනය හමුවේ මේ වගේ ඉනිමක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ශතකයක් ලබා ගන්නවා කියන හැඟීම මුලින් නොතිබුණත්, තරගය ජයග්‍රහණය කරන්න නම් පෞද්ගලිකව විශාල ලකුණු ප්‍රමාණයකට යන්න ඕන කියන බලාපොරොත්තුව තිබුණා” , විෂ්මි ThePapare.com සමඟ පැවසුවා.

විෂ්මි දැවී යන විට  පන්දු117කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා සිටියා. විෂ්මි මේ දක්වා මෙම තරගාවලියේ තරග 6ක ඉනිම් 6කට මුහුණ දෙමින් ලකුණු 199ක් ලබා සිටින්නේ තරගයක සාමාන්‍ය 33.17ක වේගයක් රඳවා ගනිමින්. 

“දුව පුංචි දවස්වල ඉඳලම ක්‍රිකට් ගහන්න දක්ෂයි. අවුරුදු 2-3ක් වගේ පොඩි කාලේ සිටම අයියගෙ  යාළුවොත් සමඟ ක්‍රිකට් ගහනවා. වේගයෙන් බැට් කරන්න තමයි කැමති. ලේසියෙන් අවුට් කරන්නත් බැහැ. සමහර දවස්වල දී ක්‍රිකට් ගහන්න මමත් අහුවෙනවා. අපි මුලින් පදිංචි වෙලා හිටියේ සබරගමුව පළාතේ වරකාපොල, අල්ගම කියන ගමේ. පාසල් ගියේ අල්ගම කනිෂ්ඨ විද්‍යාලයට. දුව ශිෂ්‍යත්වෙ සමත් වුනාට පස්සේ අපි පදිංචියට ගම්පහ එනවා.”

විෂ්මිගේ පියා අරුණ ශාන්ත ගුණරත්න මහතා පැවසුවා. ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙක්. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ඔහු ජාතික මට්ටමේ කෙටි දුර ඉසව්වන් හී දක්ෂතා දැක්වූවෙක්. ඒ ආභාෂය අද නොඅඩුව ම තම දූ පුතුන් වෙත දායාද කිරීමට ඔහු නොපැකිළිව ඉදිරිපත් වීම පැසසිය යුතුයි.

“අධ්‍යාපනයත් ක්‍රීඩාවත් එක සේ වටිනවා. අපි සමාජයේ අද මේ තත්ත්වයෙන් ඉන්නේ ඒ දෙකම සමබරව ගෙන ගිය නිසා. අනිත් එක ක්‍රීඩාව මගින් යහපත් පුරවැසියෙක් සමාජයට බිහි වීමේ ප්‍රවණතාව වැඩියි. එදා ක්‍රීඩාවත් අද ක්‍රීඩාවත් වෙනස්. ඒ වුනත් ඉන් බිහිවෙන කෙනාගෙ වෙනසක් නැහැ. ඒ නිසා මම මගේ දරුවන් තුන් දෙනාට ක්‍රීඩාවට පිවිසීමේ දී කිසිම තහංචියක් දැම්මේ නැහැ. ඔවුන්ගේ ක්‍රීඩාව නිසා ම මම තමයි අපි ගමේ ඉඳල නගරෙටත් එන්නේ” විෂ්මිගේ පියා නැවැත පැවසුවා. 

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. මව, දම්මිකා ප්‍රියන්ති විජේරත්න ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනියක් ලෙසින් කටයුතු කරනවා. විෂ්මිට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. අයියා කවීෂ අනුපම, ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. අක්කා නෙත්මි නිම්සරා, රත්නාවලී බලිකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ඇය. 

“මුලින්ම ගමේ ඉන්දැද්දී අයියයි, අක්කයි, තාත්තායි, අයියගෙ යාළුවෝ සමඟ ටෙනිස් බෝල සෙල්ලම් කළා. තාත්ත, අයියාව ලෙදර් බෝල් ගහන්න නිට්ටඹුව ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එක්ක ගෙන ගියා. මේ සමඟම අපිත් ගියා. එතකොට මට අවුරුදු 3ක් විතර ඇති. එතකොට අල්ගම ක්‍රිකට් තිබුණෙ නැහැ. රත්නාවලියට ඇවිත් තමයි ක්‍රිකට් ගහන්නේ. මුලින්ම අර්ධ ශතකයක් වාර්තා කරන්නේ 2017 දී කුරුවිට විද්‍යාලයට එරෙහිව. ඊට පස්සේ 2018 අවුරුද්දෙ දී ඔක්කම්පිටිය මහා විද්‍යාලයට ලකුණු 99ක් ගහනවා. ඊට පස්සේ පුහුණු තරග දෙකක දී ශතක දෙකක් ගහනවා. මේක තමයි තරගාවලියක ගහපු පළමු ශතකය” විෂ්මි නැවත පැවසුවා. 

තවත් විශේෂාංග:

විෂ්මි, සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙන්නේ මීට අවුරුදු දෙකකට ඉහත දී. ඇය පාසල් ක්‍රීඩිකාවක් ලෙසින් රත්නාවලියේ දී පෑ දක්ෂතා ඊට හේතු වුනා. ඇයත් සමඟ අක්කත් සීනිගම කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

“පාසල් තරගාවලි දෙකක දී අනුශූරතා දිනා ගත්තා. එක් වරක් තෙවැනි ස්ථානය දිනා ගත්තා. පාසල් තරගත් ප්‍රිමියර් තරගත් වෙනස්. ප්‍රිමියර් ලෙවල් එක හරි අමාරුයි. අපි පාසල් තරගාවලිය ගහන්නේ රතු බෝලෙන් මැටින් එකේ. මම ශතකය ලැබූ දවසට පෙර දවසේ මැච් එකක් ගැහුවෙ එහෙම. ප්‍රිමියර් එක ගහන්නේ සුදු බෝලෙන් ටර්ෆ් විකට්වල. සම්පූර්ණයෙන්ම වෙනස්. බැට් කරන්න ආවහම මුලින් බෝලෙට ඇහැ තියාගන්න හරි අමාරු වුනා. ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් ප්‍රතිවාදී කණ්ඩායමේ හිටියේ. ඔවුන් දෙන පීඩනයත් පාසල් තරගයක් වගේ නෙමේ. මම බෝලෙ දිහා විතරයි බැලුවේ. එහෙම හෙමිහිට ඉස්සරහට ගියා.”

විෂ්මිගේ විෂ්මිත ක්‍රිකට් ගමන ඒ ලෙසින් ලියැවෙන්න උදව් කළ බොහෝ දෙනෙක් ඇය පසුපසින් සිටිනවා කියල ඇය කියනවා. ඒ අතර අම්මාත් තාත්තත් විශේෂයි.

“තාත්තත් එක්ක තමයි බැරි. ක්‍රිකට් ප්‍රැක්ටිස් එක්කගෙන යනවා. ආපු හැටියෙ පාඩම් කරන්න කියනවා. වෙලාවකට රංඩුත් වෙනවා. අම්ම තමයි බේර ගන්නේ. කොහොම වුනත් තාත්තා නිතරම කියන දෙයක් තමයි ක්‍රීඩාව කරල විතරක් මදියි, හොඳින් ඉගෙන ගන්නත් ඕන කියලා. ඒ දෙකේ දී ම අම්මත් තාත්තත් දක්වන සහයෝගය කියල නිම කරන්න බැහැ.”

ඊට අමතරව විද්‍යාලයීය විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය, ක්‍රිකට් භාර ආචාර්ය අනුෂා ගුණසේකර මහත්මියත් ඉතා ගෞරවයෙන් ඇය සිහිපත් කරනවා. පුහුණුකරු අසේල සේනාරත්න, ඉෂාන් රංගන, ගයාන් මුණසිංහ යන මහත්වරුනුත් පෞද්ගලික පුහුණුකරු ලෙසින් කටයුතු කරන අනූෂ සමරනායක මහතාවත් ඇයගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙසින් විෂ්මි නම් කරනවා. 

විෂ්මි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට එන්නේ ඇයගේ ශතකයත් සමඟින්. නමුත් ඇය වාර්තා හිමි මලල ක්‍රීඩිකාවක්.

“ක්‍රිකට් වගේම මලල ක්‍රීඩාවටත් දන්න කියන කාලෙ ඉඳලම සහභාගී වෙනවා. මීටර් 100, 200 කෙටි දුර ඉසව් තමයි කරන්නේ. 2019 අවුරුද්දේ පැවති ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී අවුරුදු 15න් පහළ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ අවුරුදු 20ක් පැරණි වාර්තාව පිහිටුවන්න අපි රත්නාවලී කණ්ඩායමට හැකි වුනා. මීටර් 100 සහ 200 ශ්‍රී ලංකා වර්ණ ලබා ගත්තා. ඉදිරියටත් මලල ක්‍රීඩා ඉසව්වලටත් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා” විෂ්මි පැවසුවා. 

විෂ්මිගේ වැඩි කැමැත්ත තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. නමුත් ඇය මලල ක්‍රීඩාවත් අමතක කරන්න කැමති නැහැ. “ලැබෙන ආකාරයෙන් කරනවා” ඇය ඒ ගැන පවසන්නෙ එහෙම. 

“ක්‍රීඩාවත් අධ්‍යාපනයත් දෙකම එක හා සමානව කරගෙන යන්න උත්සාහ කරනවා. අනාගතේ දවසක දක්ෂ පිතිකාරිනියක් ලෙසින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මලල ක්‍රීඩා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටත් පුංචි ආසාවක් තියෙනවා. ලැබෙන විදිහට ඒ ක්‍රීඩා දෙකේ ම නිතර වෙනවා” විෂ්මි තම අනාගතය සැලසුම් කරන්නේ එහෙම.

ඇයගේ එම බලාපොරොත්තු ඉෂ්ට වේවායි ThePapare.com හී සුබ පැතුම්.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<