විනුජ, කුශ්මිත සහ චනුල අර්ධ ශතක අතරට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

596

19න් පහළ දෙදින සුහද පාසල් ක්‍රිකට් තරග මාලාවේ තවත් තරගයක් කොළඹ නාලන්දා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර අද (21) ආරම්භ වුනා.

විනුජ රන්පුල්, කුශ්මිත සිල්වා සහ චනුල අතුකෝරල වාර්තා කළ අර්ධ ශතක නිසා පළමු දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට නාලන්දා විද්‍යාලයට හැකි වුනා.

ධර්මපාල විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 318ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.

එහි දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ විනුජ රන්පුල් සිය ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 96කට දවා ගැනීමට ධර්මපාල නායක තිසර ශිශාර සමත් වුනා. රන්පුල්ගේ එම ඉනිම 4 පහර 11කින් සහ 6 පහර 2කින් වර්ණ ගැන්වුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු රන්පුල් සහ කුශ්මිත් සිල්වා ලකුණු 138ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා. ඉන් අනතුරුව කුශ්මිත් (ලකුණු 74) සහ චනුල අතුකෝරල ලකුණු 70*) එක්ව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමින් සිය අර්ධ ශතක ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නාලන්දා පිතිකරුවන් යම් මට්ටමකට හෝ පාලනය කිරීමට ධර්මපාල විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන නායක ශිශාර සමත් වුනු අතර ඔහු කඩුලු 4ක් දවා ගත්තා. කවිඳු ප්‍රිමාල් කඩුලු 2යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කරන ධර්මපාල විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 103ක් ලබාගෙන සිටියේ නාලන්දා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 215ක් පසුපසින් සිටිමින්. හෙට (22) මේ තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

තරගයේ ලකුණු සාරාංශය.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 318/7d (65): විනුජ රන්පුල් 96, කුශ්මිත සිල්වා 74, චනුල අතුකෝරල 70*, නිකිල් අබේගුණසේකර 22, තිසර ශිශාර 4/96, කවිඳු ප්‍රිමාල් 2/54

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 103/3 (30) හිරුපවන් හොරණගේ 33, පසිඳු තීක්ෂණ 23*, සදෙව් සමරසිංහ 2/20.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<