පරාජයත් සමඟින් තහංචියක්

967
Upul Tharanga

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායක ලෙස කටයුතු කරන උපුල් තරංග වෙත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින ජාත්‍යන්තර තරග දෙකක් සඳහා තරග තහනමක් පැනවීමට ඊයේ (3) තීරණය කර ඇත.

>>අම්ලා සහ තහීර් සිංහ බලාපොරොත්තු බොඳ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (3) B කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එදිරිව තම පළමු තරගය ක්‍රීඩා කළ අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය වේග පන්දු යවන්නන් තිදෙනෙකුගෙන්, මඳ වේග පන්දු යවන්නෙක් හා පා දඟ පන්දු යවන්නෙක් භාවිතා කරමින් තරංග මනාව පන්දු සංකලනය කරමින් පන්දු යැවුව ද, පැය 3 ½ක් හෝ පැය 4ක කාලය තුල තම පන්දුවාර 50 යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 සම්පූර්ණ කිරීමට පැය 4 ක් හා මිනිත්තු 25ක කාලයක් වැය කර තිබුණේ පන්දුවාර 4ක පමණ වෙනසක් තබාගෙනයි.

පිටියේ විනිසුරුවරුන් විසින් තරංග හට තරගය අතරතුර දී ද අවවාද කර ඇති අතර, තරගය අවසානයේ පිටියේ විනිසුරුවරුන් වූ අලීම් ඩාර් හා ඉයන් ගුල්ඩ් විසින් එම තරගයේ තරග තීරක ලෙස ක්‍රියා කළ, ඩේවිඩ් බූන් හට පැමිණිලි කර ඇත. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වහාම ක්‍රියාත්මක වන පරිදි උපුල් තරංග හට ඉදිරි එක්දින ජාත්‍යන්තර තරග දෙක තහනම් කර ඇත. ඒ අනුව තරංගට ශූරයින්ගේ කුසලානයේ වඩාත්ම වැදගත් හා උද්වේගකර තරග වන ඉන්දියාව හා පකිස්තානය සමඟින් පැවැත්වෙන තරග ද්විත්වය මඟ හැරෙනු ඇත.

“ඔව් මම හිතනවා අපි හුඟක් කාලයක් ගත කරා පන්දු යවන්න, තරගයේ විනිසුරුවරුන් විසින් මුල් පන්දුවාර 10 අවසන් වෙද්දී කිව්වා පන්දුවාර 2ක් අඩුවෙන් දාලා තියෙන්නේ කියලා, ඒවගේම 40 වැනි පන්දු වාරය වෙද්දී පන්දුවාර 3ක් පසුපසින් සිටින බවත් විනිසුරුවරුන් දැනුම් දුන්නා. මම දැන ගත්තා නියමිත කාලය ප්‍රමාණවත් වන්නේ තවත් පන්දුවාර 6කට හෝ 7කට බව, නමුත් තරගය එන්න එන්න උණුසුම් වුනා. මම ඒ ගැන එතරම්ම හිතුවේ නෑ” උපුල් තරංග තරගයෙන් පසුව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

[rev_slider ct17-dsccricket]
.

එසේම තරංගට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් හා දඬුවම් ලකුණු 2ක් ද එක්කර ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයින් හට තරග මුදලෙන් 10%ක දඩ මුදලක් නියම කර ඇත.

මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගෙන යාමට සිදු වූ ප්‍රධාන හේතුව වූයේ අපි නිතරම වගේ පන්දු රකින්නන් සකස් කළා, විශේෂයෙන්ම කපුගෙදර හා සීකුගේව අපි පොයින්ට් හා කවර් කලාපවලට නිතරම මාරු කළා. එහෙම කළේ, ඔවුන් එම ස්ථානවල පන්දු රැකීමට විශේෂඥයන් වන නිසා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින මෙන්ම ප්‍රහාරාත්මක ආරම්භ පිතිකරු නිරෝෂන් දික්වැල්ල ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල හා දක්ෂ වමත් පිතිකරුවෙක් වන තරංග නොමැතිව මෙම ශූරයින්ගේ  කුසලානයේ ඉදිරි තරග දෙක ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වන අතර, ඇන්ජලෝ මැතිව්ස් ලබන 8 වනදා ඉන්දියාව සමඟින් පැවැත්වෙන තරගයේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත්, දිනේෂ් චන්දිමාල් හට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරෙනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට