උණුසුම් තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි

108
CAVA U-20 Men Volleyball Championship

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරු ව ඊයේ (8) පැවැති කිරිකිස්තානය සමඟ තරගයේ දී  තරග වට 3-2ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් ක්‍රීඩකයන්ට සිදු වුනා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් 3 වැනි තරගය මෙයයි. ඔවුන් ඊට පෙර, තරගාවලිය සඳහා එක්වෙමින් පැවැති ආරම්භක තරගයේ දී නේපාලය හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබූ අතර ඊට පසුව පැවැති තරගයේ දී තරග වට 3-0කින් මාලදිවයින කණ්ඩායම පරාජයට පත් කිරිමට සමත් වෙනවා. නමුත් ඊයේ පැවැති තරගය පරාජයකින් කෙළවර වූව ද තියුණු අවසානයකින් යුතුව නිමා කිරීමට ඔවුන්ට හැකි වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ කිරිකිස්තානය මෙම තරගයට එක් වෙන්නේ උස්බකිස්තානය සහ ටර්කිමස්තානය වෙතින් පරාජයට පත් වෙමිනුයි. නමුත් ඔවුන් මෙම තරගයේ දී වඩාත් සටන්කාමී සහ ආක්‍රමණශීලි තරග රටාවක නිරත වෙනවා.

කෙසේ වෙතත් ඔවුන් තම පළමු වටය නිමා කරන්නේ පරාජයට පත් වෙමිනුයි. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 25-16ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. අනතුරුව පැවැති 2 වැනි වටයේ දී සෑම විටක ම ඉදිරියෙන් සිටිමට ඔවුන් සමත් වෙනවා. ඒ අනුව එම වටය අවසන් වෙන්නේ කිරිකිස්තානයට ලකුණු 25-19ක ජයග්‍රහණයක් හිමි වෙමිනුයි.

ලත් පරාජයෙන් වඩාත් පන්නරය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 3 වැනි වටයේ තරගයේ දී ඉදිරියට පිවිසෙමින් ප්‍රතිවාදීන්ට එරෙහි ව 25-20ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ අනුව තරගයේ 2-1ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වඩාත් විශ්වසනීයව සිව් වැනි වටය සඳහා එක් වෙනවා.

ලකුණු සම සම ව යමින් තියුණු මුහුණුවරක් ගත් එම තරගය අවසන් වෙන්නේ ලකුණු 25-23ක් ලෙසින් කිරිකිස්තානය ජයග්‍රහණය කරමින්. අනතුරු ව පැවැති අවසන් වටයේ දී ප්‍රතිවාදීන් සෑම විටක ම ඉදිරියෙන් සිටීමට වගබලා ගත් අතර ඒ අනුව ඔවුන් එම වටය ලකුණු 15-9ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා.

මේ අතර පැවැති අනෙක් තරග අතුරින් මෙතෙක් අපරාජිතව සිටින ටර්කිමස්තානය සහ උස්බකිස්තානය අතර තරගය ද උණුසුම් මුහුණුවරක් ගත්තා. එම තරගයේ පළමු වට 2 දී ලකුණු 25-23ක් සහ 25-23ක් ලෙසින් ටර්කිමස්තානය ඉදිරියට පිවිසියා.

නමුත් ඊළඟ වට 3 දී උස්බකිස්තානය ලකුණු 28-26ක්, 25-17ක් සහ අවසන් වටයේදී ද ලකුණු 15-8ක් ලෙසින් ජයග්‍රහණය කරන උස්බකිස්තානය තරග වට 3-2ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙතෙක් මෙම තරගාවලියේ අපරාජිත බව රැක ගැනීමට සමත් වෙනවා.

මේ අතර තරගාවලියේ මාලදිවයින සහ නේපාලය අතර පැවැති තරගයේ දී ලකුණු 25-5ක්, 25-12ක් සහ 25-20ක් ලෙසින් 3-0කින් ජයග්‍රහණය කිරීමට නේපාල කණ්ඩායම සමත් වෙනවා.

තරගාවලියේ අද (9) පැවැත්වෙන තරග

පස්වරු 2.00 – උස්බකිස්තානය සහ මාලදිවයින අතර

 

පස්වරු 4.00 – ශ්‍රී ලංකාව සහ ටර්කිමස්තානය අතර

 

පස්වරු 6.00 – නේපාලය සහ කිරිකිස්තානය අතර

තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබේ.

මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලිය සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<