යාල්පානම් ගිය තෙවැනි කොටසේ ශූරතාව

U19 Inter Schools Division iii - Tier A Tournament 2023

97

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ Tier A කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලය පසුගියදා සමත් වුනා.

අනන්තන් කාජන්ගේ නායකත්වයෙන් යුත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම, තරගාවලියේ K කාණ්ඩයෙන් පිටියට පිවිස පළමු වටය අවසන් කරන්නේ කාණ්ඩ ශූරයන් බවට පත් වෙමින්.

අනතුරුව රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද මහා විද්‍යාලය, බෙන්තොට මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම ආනන්ද ජාතික පාසල, හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟ පැවති තරගවල දී පෑ දක්ෂතා සමඟින් ඔවුන් 2023 ශූරතාවට හිමිකම් කියනවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයේ ගමන් මඟ
ප්‍රතිවාදීන් විසඳුම
1 ස්කන්දාවරෝදය විද්‍යාලය, යාපනය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 142ක ජයක්.
2 සාන්ත ප්‍රැටික් විද්‍යාලය, යාපනය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 209ක ජයක්.
3 හින්දු විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
දෙවැනි වටය
4 ශ්‍රී ප්‍රඥානන්ද මහා විද්‍යාලය, රද්දොළුව යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
5 ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය, බෙන්තොට යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 111ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
6 ආනන්ද ජාතික පාසල, පුත්තලම යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 29ක ජයක්.
අවසන් පූර්ව වටය
7 මහින්ද රාජපක්ෂ ජාතික පාසල, හෝමාගම යාපනය මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 9ක ජයක්.
අවසන් මහා තරගය
8 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, තිඹිරිගස්කටුව යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

අවසන් මහා තරගය

තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී හමුවූ අවසන් මහා තරගයේ දී යාපනය මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රීඩකයෝ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්නවා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 223ක් ලබා ගන්නේ ආරම්භක පිතිකරු රංජිත්කුමාර් නිව්ටන්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන්. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නවා.

එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 72කට බිඳ දැමීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ විශ්ව පීරිස් සමත් වෙනවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වන්නෙ ලකුණු 181ක් පමණයි. එසේ වූවත් එම ඉනිමට අර්ධ ශතකයක් එක් කිරීමට ආරම්භක පිතිකරු සොනාල් නෙත්මිණ සමත් වෙනවා.

මාරිස් ස්ටෙල්ලා ඉනිම පාලනය කිරීමේ දී සුතර්ශන් අනුශාන්ත් ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිමින් වැඩි වැඩ කොටසක් කරද්දී වික්නේශ්වරන් පරුති ද කඩුලු 3ක් දවා ගන්නවා.

ලකුණු 42ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ යාපනය ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 216ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් නායක අනන්තන් කාජන් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා.

එම ඉනිමේ දී ද නැවත වතාවක් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට විශ්ව පීරිස් සමත් වුනා. ඔහු ලකුණු 82කට කඩුලු 7ක දවා ගත් අතර එම දක්ෂතාවත් සමඟින් ඔහු තරගයේ දී ලකුණු 154කට කඩුලු 13ක් දවා ගැනීමට සමත් වෙනවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 259ක හඹා යන ඉනිමකට පිවිසි තිඹිරිගස්කටුව ක්‍රීඩකයෝ තරගය නතර කරන විට ලබා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 60ක් පමණයි.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (45.4) රංජිත්කුමාර් නිව්ටන් 82, ජගතීස්වරන් විතුසාන් 32, නිශාන්තන් අජේ 20, සුතර්ශන් අනුශාන්ත් 32, සවිඳු පෙරේරා 2/52, විශ්ව පීරිස් 6/72, යොහාන් ප්‍රනාන්දු 2/29
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ; සියලුම දෙනා දැවී 181 (66.5) සුවහස් යාපා 19, සොනාල් නෙත්මිණ 59, සවිඳු පෙරේරා 32, සුතර්ශන් අනුශාන්ත් 5/38, වික්නේශ්වරන් පරුති 3/61
  • යාපනය මධ්‍ය මහා විදයාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 216 (42.4) සතකරන් සිමිල්ටන් 40, අනන්තන් කාජන් 62, තකුතාස් අභිලාශ් 46, සගතීවන් සයන්තන් 22, විශ්ව පීරිස් 7/82, සවිඳු පෙරේරා 3/87
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 60 (17) සවිඳු පෙරේරා නොදැවී 18, විනිල පෙරේරා නොදැවී 18

පළමු ඉනිමේ ජයග්‍රහණය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට

  • යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම; අනන්තන් කාජන් (නායක), රංජිත්කුමාර් නිව්ටන්, ජගතීස්වරන් විතුසාන්, සතකරන් සිමිල්ටන්, මතීස්වරන් සන්සයන්, නිශාන්තන් අජේ, සුතර්ශන් අනුශාන්ත්, තකුතාස් අභිලාශ්, සගතීවන් සයන්තන්, පෝල් පරමතයලන් (කඩුලු රකින්නා), වික්නේශ්වරන් පරුති, උදයකුමාර් තර්මිකන්, ජෙකතීශ්වරන් අස්විතන්, එම්. ජතුර්සන්
  • නිලධාරීන්; එස්. උතයානන් (ක්‍රිකට් භාර ආචාර්ය) ටී. ආර්. කිංග්ස්ලි (ක්‍රීඩා භාර ආචාර්ය) කේ. ෂෙල්ටන් (පුහුණුකරු)

 

යාල්පානම් ක්‍රීඩකයෝ තරගාවලියේ පෑ දක්ෂතා

යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම සිටින්නේ නායක අනන්තන් කාජන්. කණ්ඩායමේ එක ම ශතකලාභියා ද වන ඔහු පළමු වටයේ දී සාන්ත ප්‍රැටික් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 150ක් ලබා ගත් අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 153ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඊට අමතර ව රංජිත්කුමාර් නිව්ටන් යාපනය ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දක්ෂතාවක් දැක්වූවා. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ඔහු තරග කිහිපයක ම යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණයේ ප්‍රධාන තීරකයා වුනා.

වමත් පිතිකරුවෙක් ලෙසින් ඔහු අවසන් මහා තරගයේ දී මෙන් ම යාපනය ස්කන්දාවරෝදය මහා විද්‍යාලයට එරෙහිව සහ රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද මහා විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක වාර්තා කරමින් දක්ෂතා දැක්වූවා.

වමත් වේගපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඔහු යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර ප්‍රමුඛ ක්‍රීඩකයන් අතරට පිවිසීමට ද සමත් වුනා. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී පුත්තලම ආනන්ද ජාතික පාසලට එරෙහිව ලකුණු 14කට ලබා ගත් කඩුලු 5යි.

නිශාන්තන් අජේ ද පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වූවන් අතරින් කැපී පෙනෙන මෙහෙවරක් කළා. ඔහු යාපනය සාන්ත ප්‍රැටික් විද්‍යාලයට එරෙහිව ලකුණු 75ක්, යාපනය හින්දු විද්‍යාලයට එරෙහිව ලකුණු 55ක්, බෙන්තර ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 51ක් සහ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලට එරෙහිව ලකුණු 83ක් ලෙසින් ලබා ගනිමින් යාපනය කණ්ඩායමේ වැඩිම අර්ධ ශතකලාභියා වීමට ද සමත් වුනා.

ඔහුට අමතර ව ජගතීස්වර්න් විතුසාන් යාපනය ස්කන්දාවරෝදය විද්‍යාලයට එරෙහිව සහ යාපනය සාන්ත ප්‍රැටික් විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසින් කැපී පෙණෙන මෙහෙවරක නිරත වුනා.

ඔවුන්ට අමතර ව සතකරන් සිමිල්ටන්, පෝල් පරමතයලන් සහ මතීස්වරන් සන්සයන්  යාපනය මධ්‍ය මහා විද්‍යාලයට වෙනුවෙන් අර්ධ ශතකලබා ගනිමින් දක්ෂතා දැක් වූ අතර සගතීවන් සයන්තන්, තකුතාස් අභිලාශ් සහ සුතර්ශන් අනුශාන්ත් ද පිතිකරුවන් වැදගත් මෙහෙවරක නිරත වුනා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමේ දී වඩාත් වැදගත් මෙහෙවරක නිරත වූයේ වික්නේශ්වරන් පරුති. ඔහු අවස්ථා කිහිපයක දී ම ප්‍රතිවාදීන් අමාරුවේ දැමමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර ඒ අතරින් වඩාත් කැපී පෙනුණේ බෙන්තර ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පෑ දක්ෂතාවයි.

ප්‍රතිවාදී භූමියේ දී පැවති  එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 37කට කඩුලු 7ක් දවා ගන්නා වික්නේශ්වරන් පරුති දෙවැනි ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 3ක් දවා ගන්නවා. ඒ අනුව තරගයේ දී ලකුණු 89කට කඩුලු 10ක් දවා ගන්නා ඔහු එම දක්ෂතාව කළ තම කණ්ඩායමේ එක ම පන්දු යවන්නා බවට ද පත් වෙනවා.

ඊට අමතර ව ඔහු යාපනය ස්කන්දාවරෝදය විද්‍යාලයට එරෙහිව ලකුණු 18කට කඩුලු 5ක් සහ යාපනය සාන්ත ප්‍රැටික් විද්‍යාලයට එරෙහිව ලකුණු 31කට කඩුලු 5ක් ද දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

යාපනය ජයග්‍රහණයේ දී ඔහුට අමතර ව සුතර්ශන් අනුශාත්, තකුතාස් අභිලාශ්, ජෙකතීශ්වරන් අස්විතන් සහ මතීස්වරන් සන්සයන් ද පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් ගොන්නට එකතු වුනා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ දෙදින තරගාවලියේ ශූරයන් වූ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර පැවති එක්දින තරගාවලියේ දී ද සුවිශේෂී දක්ෂතා දැක්විමට සමත් වෙමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත් වුනා.

මීගමුව ලොයෙලා විද්‍යාලය සමඟ පැවති  එම තරගය විසඳුමකින් තොරව අවසන් වූවත්, ප්‍රසාද ලකුණු මත තරගයේ විසඳුම තීරණය වූයේ ප්‍රතිවාදීන් ජයග්‍රහණය හිමිකර දෙමින්. ඒ අනුව එම තරගාවලියේ දී යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ගමන එතැකින් අවසන් වුනා.

මේ වසරේ දී ඔවුන්ගේ දක්ෂතා අතරට යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය සමඟ පැවති  160 වැනි උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුලු 9කින් ලත් ජයග්‍රහණය ද සමරනු ලැබුවා. එසේ වූවත්, ඒ සැමරුමේ උණුසුමේ ම පැවති  එක්දින තරගයේ දී ඔවුන්ට සිදු වූයේ ලකුණු 32කින් පරාජය වීමටයි.

2023 පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තෙවැනි කොටසේ Tier A කොටසේ ශූරයන් වෙමින් දෙවැනි කොටසේ Tier B කොටසට සුදුසුකම් ලබා ගත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<