සාන්ත සර්වේසස් විද්‍යාලයට ක්‍රිකට් ශූරතාවයක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

304

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය අද (11) නාරාහේන්පිට ACE කැපිටල් ක්‍රීඩාංගණයේ දී අවසන් වුනේ සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් හිමිකර ගනිමින්.

ඒ අනුව සාන්ත සර්වේසස් විද්‍යාලය මෙවර Tier B දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා විට, මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය එහි අනුශූරතාවය හිමිකර ගත්තා. කෙසේ නමුත් මේ කණ්ඩායම් දෙකම එළඹෙන තරග වාරයේ සිට පළමු පෙළ Tier A කාණ්ඩය දක්වා උසස් වීම් ලබාගෙන අවසන්.

සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අවසන් පූර්ව තරග වටයේ දී පිළිවෙළින් ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් කණ්ඩායම් අභිබවා මේ අවසන් මහා තරගයට පැමිණියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලයේ නායක චිරාන් නෙත්තරු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත් වුනි.

එහි දී අංක 8 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ විරාන් චමුදිත අර්ධ ශතකයක් රැස් කළ අතර පන්දු යැවීමේ දී හසිඳු පෙරේරා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. අනතුරුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම ඇරඹූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 110ක් පමණයි. එහි දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ කුෂාන් විජේරාම කඩුලු 4ක් බිඳ දැමුවා.

ලකුණු 89ක ස්ථාවර පළමු ඉනිමේ වාසියක් ද සමඟින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවැනි දිනය අවසානයේ තරගය අවසන් කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 211ක් රැස් කරගත්තා.

එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනිරු අබේවික්‍රමසිංහ 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 125ක් තුල ලකුණු 115ක් ලබාගෙන ශතකයක් රැස් කළ අතර නැවතත් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ හසිඳු පෙරේරා මේ ඉනිමේ දී ද කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනේ තරගය පුරාවට කඩුලු 9ක් දවාගෙනයි.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය හිමිකර ගත් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු පෙළ Tier B කොටසේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට සමත් වුනා.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 199 (63.3): විරාන් චමුදිත 50, දෙනුවන් ප්‍රමෝද් 36, හසිඳු පෙරේරා 5/54, ෂෙහාන් ආධිත්‍ය 2/58 & 211/6 (48.2): දිනිරු අබේවික්‍රමසිංහ 115, විශ්ව සුපුන් 43, හසිඳු පෙරේරා 4/75

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 110 (45.1): ශේන් ආධිත්‍ය 48, කුෂාන් විජේරාම 4/22, චතුම් බිම්සර 2/02, තරුෂ් දමිදු 2/38

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් තරග පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<