කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

U19 Division 1 School Cricket Tournament 2023/24

245

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (21) දිනයේ පැවැත්වුණා. 

මේ අතරින් ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගය අද දිනයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා. 

මෙම තරගයේ පළමු දිනය නිමා වන විට ගාල්ල මහින්ද විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 118ක් ලබා සිටි අතර අද දිනයේ දී ඔවුන් තවත් ලකුණු 44ක් සිය ඉනිමට එකතු කළා. 

ඊට පිළිතුරු සැපයීම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටවීම තීරණය කළේ තමන්ට තරයේ පළමු ඉනිමේ ජයක් ලැබී ඇති බව තහවුරු කර ගනිමිනුයි. ඒ අනුව අද දිනයේ සිය දෙවන ඉනිම වෙනුවෙන් නැවතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාල පිතිකරුවන් විසින් අද දිනය නිමා වන තෙක් පිතිකරණයේ යෙදීමට සමත් වූ අතර, දිනය නිමා වන විට ඔවුන් සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මහින්ද විද්‍යාලය වෙනුවෙන් තරගයේ ඉහළම ලකුණු ලාභියා වූ දෙනෙත් කෞශල්‍ය පළමු ඉනිමේ දී ලකුණු 37ක් ලබා ගත්තා. එම ඉනිම දෙකේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ඩෙමියන් ද සිල්වා විසින් කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනේ දෙවන ඉනිමේ දී ලබා ගත් කඩුලු 5ක් ද සමඟයි. 

මේ අතර සාන්ත ජෝසප් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ හිරාන් ජයසුන්දර විසින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. 

  • මහින්ද විද්‍යාලය – 162/10 (73.2) රනිඳු නිම්සර 31, දෙනෙත් කෞශල්‍ය 37, ලහිරු අමරසේකර 3/24, ඩේමියන් ද සිල්වා 2/41 & 116/9 (37) – දෙනෙත් කෞශල්‍ය 29*, ඩේමියන් ද සිල්වා 5/47, ලහිරු අමරසේකර 2/39 
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 185/6 (45) හිරාන් ජයසුන්දර 48, අභිෂේක් ජයවීර 45, දිනුර කළුපහන 2/61, අරෝශ උදයංග 2/32 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

මේ අතර තවත් දෙදින තරග තුනක් අද දිනයේ දී ආරම්භ වුනා. මෙම තරග මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය අතරත්, කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතරත් කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ D.S.සේනානායක විද්‍යාලය අතරත් පැවැත්වුණා. 

මෙම තරගවල දී දිනයේ වාසි ලබා ගැනීමට ද මැසනඩ්, මහානාම සහ වෙස්ලි විද්‍යාල විසින් සමත් වුනා. 

මෙම තරගවල දී ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් කවිඳු කෞශල්‍ය කඩුලු 6ක්, මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ කඩුලු 6ක් සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මෙවන් දිසානායක කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දක්වද්දී, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සහ ගවිරු සෙන්හස් DS සේනානායක විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාළය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය  

  • වේල්ස් කුමර විද්‍යාලය – 128/10 (56.1) නවීන් ප්‍රනාන්දු 39, ඔශාන් ද සිල්වා 36, කවිඳු කෞශල්‍ය 6/45 
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය – 98/4 (28.2) තත්ශුක ඉන්දීප 33, රසිඳු ප්‍රනාන්දු 2/14 

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය  

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 71/10 (27.5) සමිඳු මදුරංග 13, ඉනුක කරන්නාගොඩ 6/17, රශ්මික පෙරේරා 3/8 & 4/2 (11) ඉනුක කරන්නාගොඩ 1/0 
  • කොළඹ මහානාම විද්‍යාලය – 163/10 (46) දුල්නිත් සිගේරා 35, රශ්මික පෙරේරා 30, මෙවන් දිසානායක 7/58, සමිඳු මදුරංග 2/13 

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ D.S.සේනානායක විද්‍යාලය 

  • කොළඹ වෙස්ලි විද්‍යාලය 183/10 (60.1) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 61, රුක්ශාන් තරංග 29, ශනල් බිනුක 3/36, ගවිරු සෙන්හස් 3/32 
  • D.S.සේනානායක විද්‍යාලය – 118/1 (26) ගවිරු සෙහස් 53, පෙසඳු වීරසිංහ 36*, සනිතු අමරසිංහ 1/4 

මෙම තරග ත්‍රිත්වයේ ම දෙවන දිනය සහ අවසන් දිනය හෙට (22) පැවැත්වෙනු ඇති. 

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<