කරීම් සහ ඉජාස් එක් වී සහිරා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

154
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික තරග දෙකක් අද (20) දිනයේ ක්‍රියාත්මක වුනා.

කොළඹ සහිරා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය අතර ඊයේ (19) දිනයෙන් ආරම්භ වූ සාම්ප්‍රදායික දෙදින තරගය අද නිමාවට පත් වුනේ සහිරා විද්‍යාලයට පළමු ඉනිමේ දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි.

ඊයේ දිනය පුරා පන්දුවට පහර දුන් සහිරා පිතිකරුවන් විසින් කඩුලු 4ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර අද දිනයේ දී ඔවුන් සිය ඉනිමට තවත් ලකුණු 67ක් එක් කිරීමෙන් පසු සිය ඉනිම් අත්හිටවීමට තීරණය කළා.

ඊයේ දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි රොශාන් කරීම් සහ නායක මොහොමඩ් ඉජාස් පිළිවලින් ලකුණු 156ක් සහ ලකුණු 99ක් ලබා ගැනීමෙන් පසු දැවී ගියා.

නායක ඉජාස්ට අවාසනාවන්ත ලෙස ශතකය මග හැරුනත් රොශාන් කරීම් විසින් පන්දු 210ක් වැය කරමින් ලබා ගත් මෙම ලකුණු 156 නිසා සහිරා ඉනිම අතිශය ශක්තිමත් කඩඉමකට ලඟා වුනා. රොශාන්ගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වුනා.

මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ඕශද ගිම්හාන, හසිඳු පෙරේරා සහ රමිත් බණ්ඩාර කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

සහිරා විද්‍යාලයෙන් ලද දැවැන්ත ඉලක්කයට පිළිතුරු සැපයීමට පිටියට පිවිසි මාරිස් ස්ටෙලා විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 172කට සීමා කිරීමට සහිරා පන්දු බළඇණියට හැකියාව ලැබුණා.

මාරිස් ස්ටෙලා වෙනුවෙන් පන්දු යැවීමෙන් ද සාර්ථක වූ ඕශද ගිම්හාන පිතිකරණයෙන් ද සාර්ථක වෙමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වුනේ ලකුණු 38ක් ලබා ගනිමිනුයි.

සහිරා විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ යොහාන් සමින්ද සහ ඉනාම් ස්ලාසා අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

මේ අනුව සහිරා විද්‍යාලය විසින් මාරිස් ස්ටෙලා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, පසුව සිය දෙවන ඉනිම ආරම්භ කරමින් දිනය නිමා වන තෙක් පිතිකරණයේ ද යෙදුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 131ක් වාර්තා කිරීමට සහිරා විද්‍යාලය විසින් සමත් වූ අතර ලකුණු 37ක් ලබා ගත් උමාර් ඉම්රාන් දෙවන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වුනා.

  • කොළඹ සහිරා විද්‍යාලය

378/6 (87.2) රොශාන් කරීම් 156, මොහොමඩ් ඉජාස් 99, රමිත් බණ්ඩාර 2/65, හසිඳු පෙරේරා 2/73 & 131/4 (32) උමාර් ඉම්රාන් 37 31, හසිත් නයනජිත් 2/38

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය172 (57.3) ඕශද ගිම්හාන 38, ගවීශ ඉඳුවර 29, යොහාන් සමින්ද 3/27

තරගය ජය පරාජයෙන් තොරයි, සහිරා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර දෙදින සාම්ප්‍රදායික තරගය ද අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වූ මහින්ද විද්‍යාලය අද දිනය නිමා වන විට කඩුලු 8 දැවී ලකුණු 118ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මහින්ද ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වුනේ ලකුණු 31ක් වාර්තා කළ රනිඳු නිම්සර විසිනුයි.

නමුත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නොකඩවා පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ නැහැ.

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ඩේමියන් ද සිල්වා සහ ලහිරු අමරසේකර විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

  • ගාල්ල මහින්ද විද්‍යාලය

118/8 (59) රනිඳු නිම්සර 31, සෙනුක දන්ගමුව 29, ලහිරු අමරසේකර 2/9, ඩේමියන් ද සිල්වා 2/37

මෙම තරගයේ දෙවන දිනය හෙට (21) ක්‍රියාත්මක වනු ඇති.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<