දිනිරු අබේවික්‍රමසිංහ දිනයේ වීරයා බවට පත් වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

381
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (18) දිනයේ දී ආරම්භ වුනා.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන දෙදින තරගයේ පළමු දිනය ආරම්භයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් නායක මහිත් පෙරේරා විසින් පළමුව පන්දුවට පහර දීමට සර්වේශස් කණ්ඩායමට ආරාධනා කළා.

එමෙන්ම මහිත්ගේ තීරණය අතිශය නිවැරදි එකක් බව අඟවමින් සර්වේශස් ඉනිමේ මුල් කඩුලු තුනම ලකුණු 39ක් තුළ දවා ගැනීමට තෝමසුවන් විසින් සමත් වූ නමුත් එතැන් පටන් තරගය සම්පූර්ණයෙන්ම සර්වේශස් විද්‍යාලය නතු වුනා.

ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි සර්වේශස් නායක දිනිරු අබේවික්‍රමසිංහ විසින් රවීන් කවින්ත සමඟ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සබඳතාවක් පිහිටවූ අතර, පසුව දිනිරු විසින් චමරිඳු නෙත්සර සමඟින් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක් ද පිහිටුවීමට සමත් වුනා.

ඉන් පසුව විරාන් චමුදිත සමඟ නැවතත් ඉනිමේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් පිහිටවූ දිනිරු ඉනිමේ හත් වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 162කට පමණක් මුහුණ දෙමින් ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙම විශිෂ්ට ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා.

තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අභීත් පරණවිදාන කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

දිනය අවසන් වන විට මාතර සාන්ත සර්වේශස් ඉනිම කඩුලු 7කට ලකුණු 311ක් ලෙස සටහන් වී තිබූ අතර විරාන් චමුදිත ලකුණු 41ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 311/7 (83) දිනිරු අබේවික්‍රමසිංහ 141, විරාන් චමුදිත 41*, රවීන් කවින්ත 41, චමරිඳු නෙත්සර 40, අභීත් පරණවිදාන 3/79, අශේන් පෙරේරා 2/37

 

මේ අතර කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර දෙදින තරගය ද අද දිනයේ ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ සෙබස්තියන් නායකයාගේ ආරාධනයෙන් මලියදේව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

මලියදේව ඉනිමේ ද පළමු කඩුලු 3ම ලකුණු 29ක් තුළ දවා ගැනීමට සෙබස්තියන් පන්දු යවන්නන් විසින් සමත් වූ නමුත් නායක ගයන වීරසිංහ විසින් වාර්තා කළ ලකුණු 88 සහ විනුක ගලප්පත්ති විසින් නොදැවී ලබාගත් ලකුණු 46 නිසා ලකුණු 200 සීමාවට ලඟා වීමට මලියදේව පිතිකරුවන් සමත් වුනා.

පන්දු යැවීමේ දී සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මලින්ත සිල්වා විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

මලියදේවය විසින් ලබා ගත් ලකුණු 200ට පිළිතුරු සැපයීම වෙනුවෙන් පිටියට පිවිසි සෙබස්තියන් පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මෙම ලකුණු 126 වෙනුවෙන් විමත් දින්සර විසින් නොදැවී ලබා සිටි ලකුණු 60 විශාල පිටිවහලක් වුනා.

මලියදේවය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තවීශ බාලසූරිය විසින් ලකුණු 27කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය– 200/10 (61.4) ගයන වීරසිංහ 88, විනුක ගලප්පත්ති 46*, තවීශ බාලසූරිය 24, මලින්ත සිල්වා 3/50, නදීශ් ප්‍රනාන්දු 2/25, මනුජ චන්තුක 2/40
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 126/6 (42) විමත් දින්සර 60*, ජනක සිල්වා 23, උශේන් සිල්වා 21, තවීශ බාලසූරිය 4/27, ගයන වීරසිංහ 2/24

මෙම තරග ද්විත්වයේ ම දෙවන සහ අවසන් දිනය හෙට (19) පැවැත්වෙනු ඇති.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<