ශ්‍රී ලංකාව නේපාලය පරාජය කරයි

Men’s U19 Asia Cup 2024

52

ශාරුජන් ශම්මුගනාදන් සහ ලක්වින් අබේසිංහ ලබා ගත් අර්ධ ශතකවලට පන්දු යවන්නන්ගෙන් ද ලැබූ සහයෝගය මතින් නේපාලයට එරෙහි ව ලකුණු 55ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ අද (29) සමත් වුනා.  

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වූ අතර එහි දෙවැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුනා.  

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 178ක් පමණයි.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

විහස් තෙව්මික (නායක), පුලිඳු පෙරේරා, දුල්නිත් සිගේරා, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා), විමත් දින්සර, ලක්වින් අබේසිංහ, කවිජ ගමගේ, විරාන් චමුදිත, ප්‍රවීන් මනීශාන්, නිව්ටන් රන්ජිත්කුමාර්, කුගදාස් මතුලාන්. 

 

නේපාල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම  

Hemant Dhami  (නායක), Aakash Tripathi, Mayan Yadav, Arjun Kumal, Santosh Yadav, Naren Bhatta, Roshan Bishwakarma, Uttam Magar (කඩුලු රකින්නා), Naren Saud, Yuvraj Khatri, Unish Thakuri. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් පුලිඳු පෙරේරා ලකුණු 2කට දැවී ගිය ද එතැන් සිට පිටියට පිවිසි පිතිකරුවෝ ලකුණු අතරට පිවිසීම කැපී පෙණුනා.  

ඒ අතුරින් වැඩිම ලකුණු ලබා ගත්තේ ශාරුජන් ශන්මුගනාදන්. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟ ලකුණු 62ක් ලබා ගත්තා. ඊට අමතර ව ලක්වින් අබේසිංහ ද පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් එක් වූ අතර එය ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.  

ලකුණු ලබා ගැනීමේ දී ඔවුන්ට අමතර ව කවිජ ගමගේ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුනු 37ක් ද සහ දුල්නිත් සිගේරා සහ විමත් දින්සර ලකුණු 24 බැගිනුත් ලබා ගත්තා.  

අනෙකුත් පිතිකරුවන් වූ විරාන් චමුදිත (0), විහස් තෙව්මික (3), ප්‍රවීන් මනීශ (2), නිව්ටන් රංජිත්කුමාර් (7) සහ කුගදාස් මතුලාන් (2) අඩු ලකුණුවලට සීමා වුනා.  

කඩුලු දවා ගැනීමේ දී Santosh Yadav ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව Yuvraj Khatri කඩුලු ද්විත්වයක් ද, Hemant Dhami සහ Naren Saud කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ ආරම්භක පිතිකරු Mayan Yadav. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා. ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු Aakash Tripathi පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව අනෙකුත් පිතිකරුවන් ද ලකුණු අතරට පිවිසීමට උත්සාහ කරමින් තරගයේ පාලනය සියතට ගැනීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා පිතිකරුවෝ ඔවුන්ගේ ඉනිම් අතර මඟ දී උදුරා ගැනීමට සමත් වූවා. ඒ අනුව ප්‍රවීන් මනිශාන් නේපාල ඉනිම අවසන් වන විට ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත් අතර නිව්ටන් රංජිත්කුමාර්, කුගදාස් මතුලාන් සහ විහස් තෙව්මික කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී විරාන් චමුදිත කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 233 (50.0) දුල්නිත් සිගේරා 24, ශාරුජන් ශන්මුගනාදන් 62, විමත් දින්සර 24, ලක්වින් අබේසිංහ 50, කවිජ ගමගේ නොදැවී 37, Yuvraj Khatri 2/44, Santosh Yadav 4/45 

නේපාල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 178 (46.2) Aakash Tripathi 19, Mayan Yadav 62, නිව්ටන් රන්ජිත්කුමාර් 2/17, කුගදාස් මතුලාන් 2/21, විහස් තෙව්මික 2/51, ප්‍රවීන් මනීෂ 3/30 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 55ක ජයක්.  

තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගී වන මීළඟ තරගය දෙසැම්බර් 1 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<