“මුරලි අද හිටියා නම් පිතිකරුවන් පහසුවෙන් ලකුණු රැස් කරනවා” – Abdur Rehman

3327

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට දකුණු ආසියාතික රටවලින් විශාල වශයෙන් දඟපන්දු යවන්නන් බිහි වී ඇති නමුත්, ඒ අතර ශ්‍රේෂ්ඨතමයින් ලෙස සැලකෙන පන්දු යවන්නන් දෙදෙනෙකු අලලා හිටපු පාකිස්තාන දඟපන්දු යවන්නකු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මුත්තයියා මුරලිදරන්, රංගන හේරත් වැනි අයත්, ඉන්දියාවෙන් Anil Kumble, Harbajan Singh වැනි අය මෙන්ම පාකිස්තානයෙන් Saqlain Mushtaq වැනි විශිෂ්ට දඟපන්දු යවන්නන් රැසක් ක්‍රිකට් ලොවට දායාද වී ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝමයක් වාර්තා ද සිය නමින් ලියවා ගැනීමට ඔවුන් සමත් වී සිටින්නේ තම ප්‍රතිරූපය පිළිබඳ සාධනීය ඉඟියක් ලොවටම ලබා දෙමිනුයි.

කෙසේ වෙතත් 2006 – 2014 කාලසීමාවේ දී ටෙස්ට් තරග 22ක්, එක්දින තරග 31ක් සහ විස්සයි විස්ස තරග 8ක් වෙනුවෙන් පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන්නකු වන Abdur Rehman විසින් පවසන්නේ මුරලි හෝ Kumble වැන්නෙකු අද ක්‍රීඩා කළා නම් ඔවුන්ට විරුද්ධව පිතිකරුවන් විශාල වශයෙන් ලකුණු රැස් කරනු ඇති බවයි.

Abdur Rehman විසින් සහභාගී වූ Podcast වැඩසටහනක දී (Nadir Ali Podcast) ඉන්දියාවේ දුර්වල දඟපන්දු යවන්නකු නම් කරන්න අවස්ථාව ලබා දුන් විට ඔහු පවසා තිබුණේ,

” රට වෙනුවෙන් ක්‍රීඩා කරන කිසිම දඟපන්දු යවන්නෙකු නරක වෙන්න බැහැ.” යනුවෙනුයි.

පසුව ඔහුගේ මතය අනුව පහසුවෙන් ලකුණු ලබා ගනීවි යැයි අනුමාන කරන පන්දු යවන්නා කවුරුන්ද යන වග විමසූ විට ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

“ඔවුන්ගේ (ඉන්දියාවේ) හැම තණතීරුවක්ම දඟ කැවෙනවා. Flat Pitch එකක් තිබුණා නම් ඔවුන් පිතිකරුවාට තවත් විවෘත වෙනවා. Jadeja කියන්නේ දුර්වල පන්දු යවන්නෙක්, ඔහු MS Dhoniගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් දියුණු වුනා. ලෝකේ අංක එක වෙන්න ඔහුට පුළුවන් වුනා. ඔහු හොඳින් කරනවා.

 Chahalට පහසුවෙන් ම පහර දෙන්න පුළුවන්. ඔහු පන්දුව ගොඩක් දඟ කවන්නේ නැහැ. ඔහුට රතු පන්දුව දඟ කවන්න පුළුවන් කියලා පේන්නේ නැහැ. සමහර විට සීමිත ඕවර තරග රටාවල ඔහු සාර්ථක වෙන්න පුළුවන්.

මම හිතන්නේ Kumble මේ කාලේ පන්දු යැවුවා නම් ඔහුට ගොඩක් පහර එල්ල වේවි. මොකද ඔහුත් පන්දුව ගොඩක් දඟ කවන්නේ නැහැ. දැන් ක්‍රීඩා කරන ක්‍රිකට් වල හැටියට එදා ඔහු පන්දු යවපු විදිහට ඒ වේගයෙන් පන්දු යැවුවොත් ඔහුට පහර එල්ල වෙනවා. ඔහුට විතරක් නෙවෙයි මුරලිදරන් ට පවා පහර එල්ල වේවි. ඔහුගේ කාලයේ දීත් ඔහුට පහර එල්ල වුනා.

නමුත් Saeed Ajmalගේ තිබුණ විවිධත්වය නිසා ඔහුට නම් පහර එල්ල වෙන එකක් නැහැ.”

ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නේ Anil Kumble වන අතර (කඩුලු 619), මුත්තයියා මුරලිදරන් විසින් ටෙස්ට් (800) සහ එක්දින (534) ජාත්‍යන්තර තරග රටා ද්විත්වයේම ලොව වැඩිම කඩුලු ලාභියා ලෙස කිරුළු පලඳා සිටිනවා.

නමුත් Abdur Rehmanගේ ඇගයීමට ලක් වූ Saeed Ajmalට නම් පන්දුව දමා ගැසීමේ චෝදනාවන්ට ලක් වී පන්දු යැවීමේ ඉරියව්ව තහනම් වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV Sport ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<