ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (29) සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ දක්වා පැවැති තරගාවලි අතුරින් ඉන්දියාව 8 වරක් ශූරයන් බවට පත් ව ඇති අතර පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එක් වරක් පමණක් බැගින් ශූරයන් වී තිබෙනවා.
තරගාවලි අතුරින් වැඩි ම වාර ගණනක් අනුශූරයන් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාව වන අතර ඔවුන් 5 වතාවක් ඊට එක් වෙනවා. ඊට අමතර ව පාකිස්තානය 2 වරක් ද, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් වරක් බැගින් ද අනුශූරයන් වී තිබෙනවා.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් ගමන් මඟ
සත්කාරකත්වය | තරගයේ ප්‍රතිඵලය | ප්‍රතිවාදීන් | වසර | |
1 | බංග්ලාදේශය | ඉන්දියාව (තරග 3) | ශ්‍රී ලංකාව | 1989 |
2 | පාකිස්තානය | ඉන්දියාවට කඩුලු 8ක ජයක්. | ශ්‍රී ලංකාව | 2003 |
3 | මැලේසියාව | ලකුණු සමයි. ඉන්දියාව සහ පාකිස්තානය සම ශූරයන් | 2012 | |
4 | UAE | ඉන්දියාවට ලකුණු 40ක ජයක්. | පාකිස්තානය | 2013/14 |
5 | ශ්‍රී ලංකාව | ඉන්දියාවට ලකුණු 34ක ජයක්. | ශ්‍රී ලංකාව | 2016 |
6 | මැලේසියාව | ඇෆ්ගනිස්තානයට ලකුණු 185ක ජයක්. | පාකිස්තානය | 2017 |
7 | බංග්ලාදේශය | ඉන්දියාවට ලකුණු 144ක ජයක්. | ශ්‍රී ලංකාව | 2018 |
8 | ශ්‍රී ලංකාව | ඉන්දියාවට ලකුණු 5ක ජයක්. | බංග්ලාදේශය | 2019 |
9 | UAE | ඉන්දියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 9ක ජයක්. | ශ්‍රී ලංකාව | 2021 |
10 | UAE | බංග්ලාදේශයට ලකුණු 195ක ජයක්. | UAE | 2023 |
1 වැනි තරගාවලිය – 1989 බංග්ලාදේශය
තරගාමාලාව ආරම්භ කරමින් පැවැති පළමු ආසියානු කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති අතර ඒ සඳහා සහභාගී වෙන්නේ ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පමණයි.
තරගාවලිය තරග 4කින් සමන්විත වූ අතර තරග ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ඉන්දියාව ශූරයන් වෙද්දී එක් ජයග්‍රහණයක් (පාකිස්තානයට එරෙහිව) ලැබූ ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත් වුනා.
2 වැනි තරගාවලිය – 2003 පාකිස්තානය
පළමු තරගාවලියෙන් අනතුරු ව වසර 4ක් ඉක් ම වූ තැන පැවැති තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ පාකිස්තානයයි. මෙම තරගාවලිය සඳහා පෙර තරගාවලියට එක් වූ රටවල් ත්‍රිත්වයට අමතර ව බංග්ලාදේශය ද සහභාගී වෙනවා.
පෙර තරගාවලියේ දී සේ ම මෙම තරගාවලියේ දී ද පළමු වටයේ දී එක් එක් කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමඟින් තරග වැදුණ අතර එහි දී පළමු ස්ථාන ද්විත්වය පත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
පළමු වටයේ දී ශ්‍රී ලංකාව වෙතින් පරාජයට පත් වූව ද අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙනවා.
තරගාවලියේ වීරයා බවට පත් වෙන්නේ ඉන්දියාව වෙනුවෙන් කඩුලු 18ක් ලබා ගත් වමතින් වේග පන්දු යැවූ Irfan Pathan.
3 වැනි තරගාවලිය – 2012 මැලේසියාව
පෙර තරගාවලියෙන් අනතුරු ව වසර 9කට පසුව පැවැති මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් එක් කර ගැනීමට සංවිධායකයෝ කටයුතු කරනවා. ඒ අනුව පළමු වරට නේපාලය, මැලේසියාව, ඇෆ්ගනිස්තානය සහ කටාර් රාජ්‍යය ද මෙම තරගාවලිය සඳහා එක් වෙනවා.
තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට A කාණ්ඩයෙන් පාකිස්තානය සහ ඉන්දියාව ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ද එක් වෙනවා. එහි දී ශ්‍රී ලංකාවට සේ ම ඇෆ්ගනිස්තානයට ද අවසන් පූර්ව වටයෙන් තම ගමන් මඟ නතර කිරීමට සිදු වන අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලකුණු සම වීමෙන් අවසන් වෙනවා.
ඒ අනුව ආසියානු කුසලාන තරග ඉතිහාසයට සම ශූරයන් ලෙසින් එම කණ්ඩායම් 2 එක් වෙනවා.
තරගාවලියේ මෙන් ම අවසන් තරගයේ ද වීරයා බවට පත් වීමට පාකිස්තානයේ වමත් ආරම්භක පිතිකරු Sami Aslam සමත් වෙනවා. ඔහු මෙම තරගාවලියේ තරග 5ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 461ක් ලබා ගන්නවා.
4 වැනි තරගාවලිය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය 2013/14
මෙවර තරගාවලිය සඳහා ද කණ්ඩායම් 8ක් එක් කර ගන්නා ලද අතර පෙර තරගාවලිය නියෝජනය කටාර් රාජ්‍ය කණ්ඩායම වෙනුවට මෙවර එක් ව සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමයි.
තරගාවලිය සුපුරුදු පරිදිම කණ්ඩ 2ක් යටතේ පැවැති අතර A කාණ්ඩයෙන් පාකිස්තානය සහ ඉන්දියාව ද B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ද පෙර පරිදි ම සුපුරුදු ලෙසින් අවසන් කණ්ඩායම් 4 අතරට එක් වෙනවා.
එහි දී ද ශ්‍රී ලංකාවට සේ ම ඇෆ්ගනිස්තානයට සිදු වෙන්නේ අවසන් පූර්ව තරගයෙන් තම ගමන නිමා කර ගැනීමටයි. පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තානය පරාජය කරමින් ඉන්දියාව ශූරතාව දිනා ගන්නා ලද අතර ඔවුන් ආසියානු කුසලානයට හිමිකම් කියූ 3 වැනි අවස්ථාවයි ඒ.
තරගාවලියේ වීරයා බවට පාකිස්තානයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ Kamran Ghulam පත් වෙනවා. ඔහු තරගාවලියේ තරග 5ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 217ක් ද සහ කඩුලු 18ක් දවා ගනිමින් මෙම සම්මානයට නිර්දේශ වෙනවා.
5 වැනි තරගාවලිය – ශ්‍රී ලංකාව 2016
ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට පළමු වරට සත්කාරකත්වය දැක් වූ මෙම වසරේ තරගාවලිය සඳහා පෙර තරගාවලිය නියෝජනය කළ කටාර් රාජ්‍යය වෙනුවට සිංගප්පූර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබුණා.
තරගාවලිය සුපුරුදු ලෙසින් කාණ්ඩ 2ක් යටතේ පැවැති අතර මෙවර ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙමින් එම කාණ්ඩයම නියෝජනය කළ ඉන්දියාව සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එවර ද ආසියානු කුසලානය ඉන්දියාව සතු වෙන අතර කමිඳු මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව තෙවැනි වටරත් අනුශූරයන් බවට පත් වෙනවා.
තරගාවලියේ වීරයා බවට පත් වුනේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක දකුණත් පිතිකරු Himanshu Rana. ඔහු තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 283ක් ලබා ගන්නවා.
6 වැනි තරගාවලිය – මැලේසියාව 2017
මෙවර තරගාවලියේ දී පෙර තරගාවලිය නියෝජනය කළ සිංගප්පූර් කණ්ඩායම වෙනුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම නියෝජනය කළ අතර තරගාවලියේ සිදු වූ ප්‍රධානතම සිදුවීම වූයේ පළමු තරගාවලියේ සිට ම අවසන් මහා තරග නියෝජනය කළ ඉන්දියාව පළමු වටයෙන් ම තරගාවලියෙන් ඉවත් වීමයි.
ඒ ලද අවස්ථාවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අවසන් මහා තරගය සඳහා එක් වූ අතර එහි දී පාකිස්තානයට එරෙහි ව ලකුණු 185ක ජයග්‍රහණයක් ලබා ගත් ඇෆ්ගනිස්තානුවෝ පළමු වරට ආසියානු කිරළට හිමිකම් කියනවා.
තරගාවලියේ වීරයා ලෙසින් ඇෆ්ගනිස්තානයේ පිට දඟ පන්දු යැවූ Mujeeb Ur Rahman පත් වෙන අතර ඔහු මෙම තරගාවලියේ දී තරග 5ක දී කඩුලු 20ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
7 වැනි තරගාවලිය – බංග්ලාදේශය 2018
මෙවර තරගාවලියේ දී පළමු වරට හොංකොං කණ්ඩායම එක් වෙන අතර ඒ හේතුවෙන් මැලේසියා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වෙනවා.
ඒ අනුව පැවැති තරගාවලියේ දී තෙවැනි වතාවටත් අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් සමත් වෙනවා. නමුත් මෙම තරගයේ දී ද සුපුරුදු ලෙසින් ජයග්‍රාහකයන් බවට පත් වෙන්නේ ඉන්දියාවයි.
ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ආරම්භක වමත් පිතිකරු Yashasvi Jaiswal, මෙම තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 318ක් ලබා ගත් අතර ඔහු තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුනා.
8 වැනි තරගාවලිය – ශ්‍රී ලංකාව 2019
ශ්‍රී ලංකාව 2 වැනි වරටත් සත්කාරකත්වය දැක් වූ මෙම තරගාවලියේ දී පෙර තරගාවලිය නියෝජනය කළ හොංකොං කණ්ඩායම වෙනුවට නැවත වරක් නේපාල කණ්ඩායම එක් ව සිටියා.
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගත්ත ද එතැන් සිට ගමන බංග්ලාදේශය හමුවේ අහිමි ව ගියා. ශ්‍රී ලංකාව ලකුණු 42කින් පරාජය කරන බංග්ලාදේශය මෙවර තරගාවලියේ දී අනුශූරයන් බවට පත් වෙන අතර සුපුරුදු ලෙසින් ම නැවතත් ඉන්දියාව ශූරයන් බවට පත් වෙන්වා.
9 වැනි තරගාවලිය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2021
මෙවර තරගාවලියේ දී නැවත වරක් ක්වේට් කණ්ඩායම තරගාවලියට එක් වෙන අතර පෙර තරගාවලියට එක් වූ හොංකොං කණ්ඩායමට ඒ වෙනුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
සිව් වැනි වරටත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරග සඳහා එක් වූ අතර එම තරගයෙන් ද ශ්‍රී ලංකාවට අත් වෙන්නේ පරාජයයි.
ඉන්දීය කණ්ඩායමේ වමත් පිතිකරු Harnoor Singh මෙම තරගාවලියේ තරග 5ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 251ක් ලබා ගන්නා ලද ඔහු තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණා.
10 වැනි තරගාවලිය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2023
මෙම තරගාවලිය සඳහා නිමා වූ තරගාවලියට එක් වූ ක්වේට් කණ්ඩායම වෙනුවට ජපාන කණ්ඩායම එක් වෙන අතර ඔවුන් ආසියානු කුසලාන තරගාවලියක් නියෝජනය කරන්නේ පළමු වරටයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව සේ ම පාකිස්තානය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය සහ එක්සත් එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා.
ඔවුන් අතර පැවැති අවසන් මහා තරගයේ දී බංග්ලාදේශයට ලකුණු 195ක ජයග්‍රහණයක් හිමි වූ අතර ඒ අනුව වර්තමාන ආසියානු ශූරයන් ලෙසින් ඔවුන් ව මේ වන විට ද ලැයිස්තු ගත වෙනවා.
එම තරගාවලියේ වීරයා ලෙසින් ආරම්භක පිතිකරු බංග්ලාදේශ කණ්ඩායමේ Ashiqur Rahman Shibli නම් කෙරුණ අතර ඔහු තරගාවලියේ දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් තරග 5ක දී ලකුණු 378ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
- 2025 IPL තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7ක්!
- වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේ දී විග්නේෂ්වරන් ආකාශ්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
- මෙතුම්, චමෝද් සහ මෙතුක දක්ෂතා අතරට
- පොඩි ව්‍යාඝ්‍රයන්ගේ සිංහ දේශයේ සංචාරය
- 15න් පහළ යොවුන් පිටියට එක් වෙන බලඇණි
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ සුවිශේෂී කඩඉම්
363/7 (50.0): බංග්ලාදේශ කණ්ඩායම 2012 වසරේ දී කටාර් රාජ්‍යයට එරෙහි ව Kulalampur හි දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
32/10 (22.3): මැලේසියා කණ්ඩායම 2013 වසරේ දී Abu Dabi හි දී ශ්‍රී ලංකාව ඉදිරියේ දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.
600: ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් 2019 වසරේ දී කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව කණ්ඩායමක් 2ක් එක් ව ලබා ගන්නා ලද ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
328 runs: බංග්ලාදේශය 2012 වසරේ දී Kulalampur හි දී කටාර් රාජ්‍යයට එරෙහි ව ලැබූ මෙම ජයග්‍රහණය ආසියානු කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් යුක්තව ලැබූ ජයග්‍රහණයයි.
209: බංග්ලාදේශයේ Soumya Sarkar කටාර් රාජ්‍යයට එරෙහි ව 2012 වසරේ දී පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 27ක් සහ හයේ පහර 8ක් සමඟින් ලබා ගත් මෙම ලකුණු සංඛයාව ආසියානු කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් එක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
461: පාකිස්තානයේ Sami Aslam 2012 වසරේ දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් තරගාවලියක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
9/10 : බංග්ලාදේශයේ Abu Hider විසින් 2012 වසරේ දී Kulalampur හි දී කටාර් රාජ්‍යයට එරෙහි ව පෑ මෙම දක්ෂතාව ආසියානු කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙක් ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාවයි.
20: ආසියානු කුසලාන ඉතිහාසයේ තරගාවලියක වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ 2017 වසරේ දී මෙම දක්ෂතාව පෑ ඇෆ්ගනිස්තානයේ Mujeeb Ur Rahman.
250: ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ දී පෙරමුණ ගෙන ඇත්තේ 2012 වසරේ Kulalampur හි දී බංග්ලාදේශයේ Soumya Sarkar සහ Asif Ahmed එක් ව පෑ මෙම දක්ෂතාවයි.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<