මාවන්ගේ සිට අහිමි සිහිනය, 19න් පහළ ආසියානු කුසලානය

Men’s U19 Asia Cup 2024

52
Men’s U19 Asia Cup 2024

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරග ඉතිහාසයට එක් වූ ගෙවී ගිය වසර 39ක, තරගාවලි 10ක අතීතයේ දී තවමත් අප දිනා ඇත්තේ අනුශූරතාවන් පමණයි.  මේ සඳහා 1990 වසරේ දී ටෙස්ට් වරම් හිමිකර ගත් මාවන් අතපත්තුගේ සිට මේ වසරේ දී විස්සයි විස්ස වරම් දීනූ චමිඳු වික්‍රමසිංහ දක්වා වූ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම්ලාභී ක්‍රීඩකයන් 34 දෙනෙක් විටින් විට ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

නමුත් අප තවමත් 1989, 2003, 2016, 2018 සහ 2021 වසරවල දිනූ අනුශූරතාවන්ගෙන් පමණක් සෑහීමකට පත් වෙමින් සිටිනවා.

1 වැනි තරගාවලිය – 1989 බංග්ලාදේශය

මංගල ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමි වූයේ මාවන් අතපත්තු වෙතයි. 1990 වසරේ දී ටෙස්ට් වරම් හිමි වූ මාවන් අතපත්තු මෙන් ම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමඟ, 1993 වසරේ දී ටෙස්ට් වරම් හිමි වු කුමාර් ධර්මසේන, 1993 වසරේ දී එක්දින වරම් හිමි වූ පියල් විජේතුංග සහ 1994 වසරේ දී එක්දින වරම් හිමි වූ අජිත් වීරක්කොඩි ද මෙම කණ්ඩායම නියෝජනය කළා.

මෙම තරගාවලියේ දී අනුශූරයන් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහි දී තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණුලාභියා (94) මෙන් ම එක ම අර්ධ ශතකලාභියා (නොදැවී 54, ඉන්දියාව) ද වීමට මාවන් අතපත්තු සමත් වෙනවා.

පන්දු යැවීමේ දී තරගාවලියේ දී කඩුලු 6ක් දවා ගැනීමට කුමාර් ධර්මසේන සමත් වූව ද ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ආනන්ද බණ්ඩාරනායකයි. ඔහු පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ලකුණු 11කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය එවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද වූවා.

2 වැනි තරගාවලිය – 2003 පාකිස්තානය

2004 වසරේ එක්දින වරම් හිමිකර ගනිමින් ජාත්‍යන්තර පිටියට පිවිසි ෆර්විස් මහරූෆ් මෙවර කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු සමඟින් 2011 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් කෞෂාල් සිල්වා සහ කෝසල කුලසේකර ද, 2005 වසරේ දී එක්දින වරම් දිනූ උපුල් තරංග ද, 2009 වසරේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ ඇන්ජලෝ මැතිව්ස් සහ සුරාජ් රන්දීව් ද මෙම කණ්ඩායම නියෝජනය කළා.

නමුත් තරගාවලියේ වැඩිම දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් වූයේ දකුණත් පිතිකරු හර්ෂ විතාන. ඔහු තරග 4කට එක්වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 179ක් ලබා ගත්තා. එම දක්ෂතාව එවර තරගාවලියේ පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

පන්දු යැවීමේ දී නායක ෆර්වීස් මහරූෆ් කඩුලු 7ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වුනා. තරගාවලියේ පෑ දක්ෂතා මත ඔහුට හිමි වූයේ 2 වැනි සම ස්ථානයයි.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ ද අනුශූරයන් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

3 වැනි තරගාවලිය – 2012 මැලේසියාව

2014 වසරේ දී ටෙස්ට් වරම් දිනූ නිරෝෂන් දික්වැල්ල සහ තරිඳු කෞෂාල්, 2016 වසරේ දී එක්දින වරම් දිනු අමිල අපෝන්සු, 2017 වසරේ දී එක්දින වරම් හිමිකර ගත් සඳුන් වීරක්කොඩි සහ ලහිරු මධුශංක ඇතුලත් වූ මෙම කණ්ඩායමේ නායකත්වය සනිත ද මෙල් සතු වුනා.

තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් වටයෙන් ඉවතට විසි වූ මෙම කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ සඳුන් වීරක්කොඩි. ඔහු තරග 4ක ඉනිම් 3කට සහභාගී වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 184ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ තරිඳු කෞෂාල්. ඔහු තරග 4 දී කඩුලු 12ක් දවා ගන්නවා. ඔහුගේ එම දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු අසුනට හිමිකම් කී දක්ෂතාව බවට ද පත් වෙනවා.

4 වැනි තරගාවලිය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය 2013/14

2015 වසරේ සිට ටෙස්ට් වරම් දිනූ කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 වසරේ සිට ටෙස්ට් වරම් දිනූ සදීර සමරවික්‍රම, 2019 වසරේ දී එක්දින වරම් හිමි වූ ප්‍රියමාල් පෙරේරා සහ මිනෝද් භානුක, 2021 වසරේ සිට ටෙස්ට් වරම් දිනූ රමේෂ් මෙන්ඩිස් සහ එම වසරේ ම එක්දින වරම් දිනූ බිනුර ප්‍රනාන්දු ද ඇතුලත් වෙනවා.

එවර ද ඔවුන්ට සිදු වෙන්නේ ඉන්දියාව හමුවේ පරාජයට පත් වෙමින් අනුශූරතාවෙන් සෑහිමකට පත් වීමටයි.

තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් අතුරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතර වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ තරග 4ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 211ක් ලබා ගත් ප්‍රියමාල් පෙරේරා වන අතර පන්දු යැවීමේ දී කඩුලු 7ක් දවා ගත් බිනුර ප්‍රනාන්දු කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙනවා.

මෙම තරගාවලියේ දී ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ලබා ගත් පළමු ශතකය වාර්තා කිරීමට නායක කුසල් මෙන්ඩිස් සමත් වෙනවා. ඔහු Abu Dhabi ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහි ව පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා.

5 වැනි තරගාවලිය – ශ්‍රී ලංකාව 2016

2019 වසරේ සිට එක්දින වරම් දිනූ කමිඳු මෙන්ඩිස් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නා. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නැවතත් අනුශූරයන් බවට පත් වෙනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් අතුරට 2021 වසරේ දී ටෙස්ට් වරම් දිනූ ප්‍රවීන් ජයවික්‍රම සහ විස්සයි විස්ස වරම් දිනූ අශේන් බණ්ඩාර, 2023 වසරේ දී විස්සයි විස්ස වරම් දිනූ ලසිත් කෲස්පුල්ලේ ද ඇතුලත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී ශ්‍රී ලාංකීය පිතිකරු බවට පත් වුනේ තරග 5ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 193ක් ලැබූ විශ්ව චතුරංග. ඔහුගේ එම දක්ෂතාව තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතුරින් තෙවැනි අසුන හිමි වූ දක්ෂතාවක් බවට ද පත් වුනා.

තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා වූයේ ප්‍රවීන් ජයවික්‍රම. ඔහු  කඩුලු 10ක් ලබා ගත් අතර එය තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතරට එක් වූ ඉන්දීය පන්දු යැවූ Rahul Chahar සමඟ සම ව අසුන් ගත් දක්ෂතාවක් බවට ද පත් වුනා.

6 වැනි තරගාවලිය – මැලේසියාව 2017

මෙම තරගාවලියේ දී නැවතත් නායකත්වයේ වගකීම කමිඳු මෙන්ඩිස් සතු වූ අතර ඔහු සමඟ පෙර තරගාවලියට එක් වූ අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම සමඟ 2021 වසරේ දී එක්දින වරම් දිනා ගත් ධනංජය ලක්ෂාන්, 2023 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් නිශාන් මදුශ්ක, සහ එක්දින වරම් දිනා ගත් නුවනිඳු ප්‍රනාන්දු ද මෙම කණ්ඩායම නියෝජනය කළා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සේ ම ඉන්දියාවට ද තරගාවලියේ පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු වුනා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ශ්‍රී ලාංකික පිතිකරු වූයේ තරග 3ක ඉනිම් 2ක දී ලකුණු 62ක් ලබා ගත් අශේන් බණ්ඩාර. පෙර තරගාවලියේ දී කඩුලු 10ක් ලබා ගත් ප්‍රවීන් ජයවික්‍රම මෙවර තරගාවලියේ දී කඩුලු 11ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වුනා. ඔහුගේ එම දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර 2 වැනි අසුනට හිමිකම් කීවා.

7 වැනි තරගාවලිය – බංග්ලාදේශය 2018

නිපුන් ධනංජය ගේ නායකත්වයෙන් යුත් මෙවර කණ්ඩායමට පෙර තරගාවලිය නියෝජනය කළ නිශාන් මධුශ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු, 2022 වසරේ දී එක්දින වරම් හිමි වූ දුනිත් වෙල්ලාලගේ සහ එම වසරේ දී ම විස්සයි විස්ස වරම් දිනූ කමිල් මිෂාර ද කණ්ඩායමට ඇතුලත් ව සිටියා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ දී නැවතත් ඉන්දියාවට පරාජය වෙමින් අනුශූරයන් බවට පත් වෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 195ක් ලබා ගන්නා ලද අතර ඊට ඇෆ්ගනිස්තානයට එරෙහි ව Mirpur හි දී පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 111ක් ද ඇතුලත්. එය ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් මෙම තරගමාලාවේ දී වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.

පන්දු යැවීමේ දී ශෂික දුල්ශාන් කඩුලු 11ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලැබු පන්දු යවන්නා බවට පත් වුනා.

8 වැනි තරගාවලිය – ශ්‍රී ලංකාව 2019

මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් නිපුන් ධනංජය සතු වූ අතර ඔහුත් සමඟින් පෙර තරගයට එක් වූ කමිල් මිෂාර ද මෙම කණ්ඩායමට ඇතුලත් වූනා. ඊට අමතර ව 2023 වසරේ දී එක්දින වරම් දිනා ගත් ඩිල්ශාන් මධුශංක මෙම කණ්ඩායමේ අසුන් දිනා ගත්තා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ අහන් වික්‍රමසිංහ. ඔහු තරග 3ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 136ක් ලබා ගන්නවා. කඩුලු 8ක් දවා ගත් නවෝද් පරණවිතාන තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා බවට පත් වූනා.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලියේ දී නැවතත් ශ්‍රී ලංකාවේ ගමන් මඟ පළමු වටයට පමණක් සීමා වුනා.

9 වැනි තරගාවලිය –  එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2021

මෙවර තරගාවලියේ දී නැවත දුනිත් වෙල්ලාලගේ නායකත්වය ද දරමින් කණ්ඩායම හා එක් වෙන අතර ඔහුත් සමඟින් 2022 වසරේ දී විස්සයි විස්ස වරම් දිනූ මතීෂ පතිරණ 2023 වසරේ දී විස්සයි විස්ස වරම් දිනූ ෂෙවෝන් ඩැනියෙල්, 2024 වසරේ දී විස්සයි විස්ස වරම් දිනූ චමිඳු වික්‍රමසිංහ සහ ද කණ්ඩායමට ඇතුලත් වුනා.

නිමා වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත් වෙමින් අනුශූරයන් බවට පත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී ශ්‍රී ලාංකීය පිතිකරු බවට තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 191ක් ලබා ගත් සදීශ රාජපක්ෂ පත් වුනා. පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ කඩුලු 10ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක් වූවා.

මෙම තරගාවලියේ දී සදීශ රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ Sharjah ක්‍රීඩාංගණයේ දී නේපාලයට එරෙහි ව ශතක ලබා ගැනීම කැපී පෙණුනා. එහි දී සදීශ රාජපක්ෂ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 131ක් ලබා ගත් අතර එය මෙතෙක් තරගමාලාවේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලබා ගත ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

චමිඳු වික්‍රමසිංහගේ ඉනිම පන්දු 126කින් සමන්විත වූ ලකුණු 111ක් වූ අතර, ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එකතු වී තිබුණා.

10 වැනි තරගාවලිය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2023

නිමා වූ ආසන්නත ම ආසියානු කුසලානයේ නායකත්වයේ වගකීම හිමි වූ සිනෙත් ජයවර්ධනට තරගාවලිය නිමා කිරීමට සිදු වෙන්නේ නැවතත් පළමු වටයෙන් සෑහීමකට පත් වීමට සිදු වෙමිනුයි.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වූයේ තරග 3ක දී ලකුණු 100ක් ලබා ගත් සිනෙත් ජයවර්ධන. කඩුලු ලබා ගැනීමේ දී ගරුක සංකේත් කඩුලු 7ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වූවා.

ආසියානු වයස අවුරුදු 19න් පහළ තරගමාලාවන් හී අතීතය ඒ ලෙසින් විකාශය වූවත් අප 1996 වසරේ එක්දින ලෝක කුසලානයත්, 2014 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලානයත් මෙන් ම 1986, 1997, 2004, 2008 සහ 2014 වසර 5 දී ආසියානු එක්දින කුසලානත් සහ 2022 වසරේ දී විස්සයි විස්ස ආසියානු කුසලානයත්  දිනූ අභිමානවත් ක්‍රිකට් අතීතයක් හිමි රටක්.

ඊට නොවැම්බර් මස 29 වැනිදා ආරම්භ වන 11 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාව ද එක් වෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

ඒ සඳහා විහස් තෙව්මික ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<