පොදුරාජ්‍ය මණ්ඩලීය පිහිනුම් තරග වලට ලංකාවෙන් හයක්

891

මේ වසරේ අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා හය දෙනෙකුගෙන් සමන්විත පිහිනුම් කණ්ඩායමක් මේ වන විට තෝරා ගෙන අවසන්ය.

ශක්තිවන්තයෝ උරගා බලන්නට කඹයෙන් වාරයක්

ජවසම්පන්න තාරුණ්‍ය අතින් ගත් කළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවන්නේ අතීතයේ සිටම ඔවුන් …

ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් හා ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම පිහිනුම් කණ්ඩායම ශ්‍රී ලංකා ජල සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්වූ අවසන් තරගාවලි කිහිපය තුළ ඉතාමත් හොඳ දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විනෝලි කළුආරච්චි හා මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ දිල්රුක්ෂි පෙරේරා නිමා වූ 2017 වර්ෂයේ පැවැත්වූ පිහිනුම් තරගවල දී ඉතාමත් විශිෂ්ට ලෙස දස්කම් දක්වමින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිය ස්ථානය වෙන්කරවා ගන්නා ලදි. මොවුන් දෙදෙනාම මීට පෙරාතුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 හා 2017 යන වර්ෂවල දී  ලෝක කනිෂ්ඨ තරගාවලිය සඳහා සහභාගි විය.

මෙම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගෙන ඇති ක්‍රීඩකයින් වන්නේ චෙරන්ත ද සිල්වා, මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ හා අකලංක පීරිස් යන ක්‍රීඩකයින් වේ. පසුගිය වර පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මීටර 50 හා මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වලින් රිදී පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට මැතිව් අබේසිංහගේ සොයුරු කයිල් අබේසිංහ සමත් විය. මැතිව් අබේසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

පිහිනුම් ක්‍රීඩාව සිය ජීවිතය හා සමාන කර ගත් චෙරන්ත ද  සිල්වා මේ වන විට තායිලන්තයේ සිය පිහිනුම් පුහුණුවීම් වල නිරතව සිටී. ඔහු මැතිව් අබේසිංහ විසින් 2016 වර්ෂයේ දී නිදහස් ආර ඉසව්වෙන් පිහිටුවා තිබූ තරග වාර්තාවක් බිඳ හෙලීමට සමත් වී ඇත.

වර්ණලාභී යොවුන් පිහිනුම් ක්‍රීඩකයෙක් වන අකලංක පීරිස් 9 වැනි වරටත් පැවැත්වූ ආසියානු වයස් කාණ්ඩය පිහිනුම් තරග ඉසව්වේ දී නව වාර්තා දෙකක් අලුත් කර ගන්නට සමත් විය. එසේම 43 වැනි වරටත් පැවැත්වූ ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵලවලට අනුව බාලක අංශයේ පෙරමුණේම පසුවූයේ අකලංකයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<