ආචර්ට තවත් PCR පරීක්ෂණයක්

353

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර, වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර් හට තවත් PCR පරීක්ෂණයක් සිදු කිරීමට සිදු වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියි. ඒ ඔහුගේ පවුලේ සාමාජිකයෙක් හදිසියේ අසනීප වී තිබීම නිසාවෙනි.

තවත් පාකිස්තානු ක්‍රීඩකයින් හත්දෙනෙක්ට කොරෝනා!

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට පෙර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කුඩා කුඩා කණ්ඩායම් ලෙස සිය පුහුණුවීම් ආරම්භ කරන ලදි. 

ආචර් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟින් පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ හෙට (25) දිනයේ දී වන අතර ඊට පෙර ද ඔහුට තවත් PCR පරීක්ෂණයක් සිදු කොට එහි ප්‍රතිඵල ලැබුණු පසුව ඔහුව පුහුණු කඳවුරට ඇතුළත් කර ගන්නා බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පවසා සිටියි.

“සති අන්තයේ දී ඔහුගේ පවුලේ සාමාජිකයෙක් හට හදිසි අසනීප තත්වයක් වැලඳුණා. පස්සේ ඔවුන් දෙදෙනාටම PCR පරීක්ෂණ සිදු කළා. ඒ දෙදෙනාගේම පරීක්ෂණවල ප්‍රතිඵල ආවා. ඒකෙන් පෙනෙන විදිහට ඔවුන් දෙදෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වෙලා නැහැ. හැබැයි ආචර් හෙට (25) එංගලන්ත කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කරන්න කලින් ඊයේ (23) ඔහුට තවත් PCR පරීක්ෂණයක් සිදු කළා. එකේ ප්‍රතිඵල අනුව තමයි අපි ඔහුව අපේ පුහුණු සංචිතයට ඇතුළත් කරන්නේ” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

ආචර් මේ වසර ආරම්භයේ දී පැවති එංගලන්ත – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය අතරතුර වැලමිට ආශ්‍රිතව ආබාධයකට ලක්වූ අතර ඒ නිසාවෙන් ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී ගිය නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලිය පැවැත්වූයේ නැත.

“Kohliට සරදම් කිරීම වලසෙකුට ඇඟිල්ලෙන් ඇනීමක්.” – David Warner

“මට පසුගිය සතියේ දී ස්කෑන් පරීක්ෂණයක් සිදු කළා. එහි දී මගේ අස්ථි බිඳීම සාමාන්‍ය තත්වයට පත්වෙලා කියලා තමයි පරීක්ෂණවලින් පෙනුණේ. මටත් දැන් කලින් වගේ අමාරුවක් දැනෙන්නේ නැහැ” යැයි ආචර් Daily Mail පුවත් පත වෙත සිය ආබාධයේ නවතම තත්වය ගැන පවසා තිබේ.

එක්සත් රාජධානිය තුල මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 306,000 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව 42,000 ද ඉක්මවා ඇත.

ටෙස්ට් තරග තුනකින් සමන්විත එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ජූලි මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් ICC සහ එරට රජයන් විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ අනුව ජුනි 9 වැනිදා සිට දින 14ක නිරෝධායන කාලය නිමා කිරීමෙන් පසුව සිය පුහුණු වීම් කටයුතු ආරම්භ කරනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8-12 – Ageas Bowl පිටියේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16-20 – ලැන්කෂයර් හිදී
  • තෙවැනි ටෙස්ට් තරගය – ජූලි 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<