Just Stop Oil ලෝඩ්ස් ක්‍රීඩාංගණයට කඩා වදී

The Ashes 2023

1213

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට වෙනස් ආකාරයේ ආරම්භයක් ලබා දීමට Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් ඊයේ (28) සමත් වුනා.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Ben Stokes විසින් පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා. ඒ අනුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට Dawid Warner සහ Usman Khawaja විසින් පිටියට පිවිසුණු අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ James Anderson විසිනුයි.

නමුත් Anderson විසින් තරගයේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව තරගයට බාධා කරමින් පුද්ගලයින් දෙදෙනෙකු ක්‍රීඩාංගණය තුළට දිව ආ අතර ඔවුන් විසින් තැඹිලි පැහැ කුඩක් පිටියට තුළ ඉසිනු ලැබුවා. නමුත් වහාම ක්‍රියාත්මක වූ එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක Jonny Bairstow විසින් ඉන් එක් පුද්ගලයකු ඔසවා ගෙන ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන ගිය අතර, ක්‍රීඩා පිටියේ කාර්ය මණ්ඩලය මඟින් අනෙක් පුද්ගලයා ද ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා.

පසුව පිටියේ කාර්ය මණ්ඩලය විසින් නැවත ක්‍රීඩාංගණය පවිත්‍ර කළ අතර, Bairstow හට ද සිය ඇඳුම් මාරු කර ගැනීමට පිටියෙන් මොහොතකට ඉවත් වීමට සිදු වුනා.

මෙම බාධා කිරීම නිසා තරගය ආසන්න වශයෙන් විනාඩි 10ක පමණ කාලයක් නතර කර තැබීමට සිදු වුනා.

මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමට අයත් අය බවයි දැන ගන්නට ලැබෙන්නේ. ඔවුන් විසින් මෑත කාලීන ව එංගලන්තයේ පැවැත්වුණු විවිධ ක්‍රීඩා ඉසව් වලට මේ අයුරින් මැදිහත් වෙමින් මාධ්‍ය සහ රාජ්‍ය අවධානය තමන් වෙත යොමු කර ගැනීමට උත්සාහ ගෙන තිබුණා.

එක්සත් රාජධානිය තුළ තෙල් සහ අනෙකුත් ෆොසිල ඉන්ධන ගවේෂණය සඳහා නව බලපත්‍ර ලබා දීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලීම් කිරීම මෙම සංවිධානයේ මුඛ්‍ය අරමුණ වී තිබෙනවා.

2025 වසර වන විට එවැනි ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයකට නව බලපත්‍ර ලබා දීමට එක්සත් රාජධානිය බලාපොරොත්තු වන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

“ක්‍රිකට් කියන්නේ අපේ ජාතික උරුමයේ වැදගත් ම කොටසක්. නමුත් ක්‍රිකට් ලෝකයේ බොහෝ කොටසක් ජීවත් වීමට නුසුදුසු තත්වයට පත් වෙමින් තිබෙන මොහොතක අපි කොහොමද එංගලන්ත – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගයක් රස විඳින්නේ.

මෙම තත්වයේ බරපතළකම තේරුම් ගන්න ක්‍රිකට් රසිකයින් සහ අනෙක් සියලු ම දෙනා මීට විරුද්ධව පාරට බැසිය යුතු කාලයයි මේ උදා වෙලා තියෙන්නේ.”

Just Stop Oil ප්‍රකාශකයෙකු විසින් සිය ක්‍රියාවේ හේතුව එසේ පැහැදිලි කර තිබුණා.

මෙම ක්‍රියාකාරී කණ්ඩායම විසින් මීට පෙර එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවති කාලයේ දී මෙන් ම පාපන්දු ප්‍රිමියර් ලීග් තරගාවලිය, ස්නූකර් ලෝක ශූරතාව වැනි ක්‍රීඩා ඉසව් කිහිපයක් ම සිය විරෝධය ප්‍රකාශ කිරීමට අවස්ථාවන් කර ගෙන තිබුණා.

නමුත් මෙම සිදුවීම පිළිබඳ Marylebone ක්‍රිකට් සමාජයෙන් මෙන් ම එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා වෙතින් ද ලැබී තිබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නොවෙයි. එමෙන්ම මෙම සිදුවීමට අදාළ පුද්ගලයින් තිදෙනෙකු සිය අත්අඩංගුවට ගත් බවයි මෙට්‍රොපොලිට්න් පොලිසිය මඟින් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් සිදු වූ බාධාවෙන් අනතුරුව නැවත තරගය ආරම්භ වූ අතර ඉන් මොහොතකට පසු නැවතත් වර්ෂාව මඟින් තරගයට මද වෙලාවක බාධාවක් එල්ල වුනා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ඊයේ දිනයේ දී යවා සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 83ක් පමණයි. මෙම පන්දුවාර 83 තුළ දී ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 339ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වූ අතර එහි දී Dawid Warner (66), Travis Head (77) සහ Steven Smith (නොදැවී ලකුණු 85) අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම ඊයේ දිනය පුරාවටම දැරූ උත්සාහයේ ප්‍රතිඵල ලෙස ඕස්ට්‍රේලියානු කඩුලු 5ක් බිඳ හෙළීමට එංගලන්ත පන්දු යවන්නන් විසින් සමත් වූ අතර එහි දී Josh Tongue සහ Joe Root අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

අද තරගයේ දෙවැනි දිනය වන අතර තරගය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India සහ BBC ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<