නේපාලයෙන් බංග්ලාදේශයට නොසිතූ අභියෝගයක්

ICC Men's T20 World Cup 2024

58
ICC Men's T20 World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 37 වැනි තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 21ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (17) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාලය විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඔවුන් විසින් බංගලාදේශ පිතිකරුවන්ව නොසිතූ විරූ ලෙස අසරණ කිරීමට සමත් වුනා.

බංග්ලාදේශ පිතිකරුවන් එක් අයකුට හෝ මෙම ඉනිමේ දී ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකි වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Shakib Al Hasanගේ පිත්තෙන් ලකුණු 17ක් වාර්තා වුනා.

නේපාලය වෙනුවෙන් පන්දු යවන්නන් සිව් දෙනෙකු විසින් කඩුලු ද්විත්වය බැගින් දවා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

බංග්ලාදේශයෙන් ලද ඉලක්කය බැලූ බැල්මට ම පහසු බවක් පෙනෙන්නට තිබුණත්, එය හඹා යාමට පිටියට පිවිසි නේපාල පිතිකරුවන් ද ඉතා අසීරු අඩියකට වැටුණා.

නේපාල ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 26ක් තුළ දැවී ගිය අතර, Kushal Malla සහ Dipendra Singh Airee ඉනිමේ ඉහළම ලකුණු ලාභීන් වෙමින් පිළිවලින් ලකුණු 27ක් සහ 25ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ලකුණු සමස්ත තරගයේ තීරණය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවූ අතර, නේපාල ඉනිම ලකුණු 85කට සීමා වුනා.

මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Tanzim Hasan සිය පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම Mustafizur Rahman විසින් කඩුලු 3ක් දවා ගත්තා.

  • බංග්ලාදේශය– 106/10 (19.3) Shakib Al Hasan 17, Rishad Hossain 13, Sopmal Kami 2/10, Sandeep Lamichhane 2/17
  • නේපාලය– 85/10 (19.2) Kushal Malla 27, Dipendra Singh Airee 25, Tanzim Hasan 4/7, Mustafizur Rahman 3/7

තරගයේ වීරයා – Tanzim Hasan

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<