“තරග දෙකක පරාජයකින් අපි දුර්වලයන් වෙන්නෙ නැහැ” – Rahul Dravid

ආසියානු කුසලානය 2022

13166
Need to keep our feet on ground, Dravid after India's 3-0 series win over NZ.

ඊයේ (8) පැවති ඇෆ්ගනිස්ථානය සමඟ තරගයෙන් ලකුණු 101ක ජයක් ලබා ගැනීමත් සමඟ ඉන්දියාවේ ආසියානු කුසලාන ගමන අවසන් වුනා.

සුපිරි පිතිකරු Virat Kohli ඔහුගේ ශතක ඉඩෝරය අවසන් කරමින් සිය ජාත්‍යන්තර 71 වැනි ශතකය වාර්තා කරන්නට ඊයේ සමත් වුනා. එය කෝලිගේ කුළුඳුල් ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වන අතර එම ලකුණු 122 පන්දු 61ක දී වාර්තා කිරීම විශේෂත්වයක්.

නිත්‍ය නායක Rohit Sharma විවේක ගැන්වීම නිසා ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි Kohliට අනගි සහයක් ලබා දුන් KL Rahul පන්දු 40කින් ලකුණු 62ක් වාර්තා කළා.

සුපිරි 4 වටයේ දී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ ඉන්දියාවට පසුගිය දා පැවති ඇෆ්ගනිස්තාන – පාකිස්තාන තරගයෙන් පාකිස්තානය ජයග්‍රහණය කිරීමත් සමඟ ආසියානු කුසලාන සිහිනය අත්හැර දැමීමට සිදු වුනා.

ඉන්දියාව මූලික වටයේ දී පාකිස්තානය සහ හොංකොං කණ්ඩායම සමඟ තරගවල දී ජයග්‍රහණය ලැබූව ද, ඔවුන්ට එම රිද්මය සුපිරි හතර දෙනාගේ වටයේ දී රඳවා ගැනීමට හැකි නොවීම විශේෂත්වයක්. Ravindra Jadeja ආබාධයට ලක්වීම ද ඉන්දීය සංයුතියට සැලකිය යුතු බලපෑමක් එක් කළා.

සුපිරි 4 වටයේ දී ඉන්දීය කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශයට ප්‍රතිචාර දක්වමින් Sanjay Manjrekar සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Dravid පැවසුවේ තරග දෙකක් පරාජය වූ පමණින් ඔවුන් දුර්වල කණ්ඩායමක් නොවන බවයි.

විස්සයි විස්ස තරගවල දී තීරණය ඉතාමත් අවිනිශ්චිතයි. අපි තරග දෙකක් පරාජය වුනා. නමුත් ඒ ලකුණු ආරක්ෂා කිරීම අපහසු තණතීරුවක,” යනුවෙන් ඇෆ්ගනිස්තාන තරගයට පෙර Sanjay Manjrekar සමඟ Star Sports හි පැවති සම්මුඛ සාකච්ඡාවේ දී Rahul Dravid පැවසුවා.

නිදහසට කරුණක් නොවුනත් අපි ඒ තරග දෙකම අවසන් පන්දුව දක්වාම ගෙන ගියා. මම හිතනවා අපිට ඒ තරග දෙකෙන් එකක් හෝ ජය ගන්න තිබුණා කියලා. නමුත් අපිට තව ඉගෙන ගන්න තියෙනවා. නමුත් තරග දෙකක් පරාජය වූ පමණින් අපි දුර්වල කණ්ඩායමක් වෙන්නෙ නැහැ. පසුගිය මාස 8-9ක දී ම අපි ඉතා හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා,” යනුවෙන් ද ඔහු පැවසුවා.

ආබාධ සහ අසනීප වීම් කිහිපයක් නිසාත් අපේ සංයුතියට ගැටලු ඇති වුනා. මේ වගේ තරගාවලිවල ජයග්‍රහණය සහ පරාජය අතර සීමාව ඉතාමත් කුඩායි. සමහර අවස්ථාවල දී මෙවැනි තත්වයන් ඇති විය හැකියි. අපිට අවශ්‍ය වෙන්නේ සමබර ක්‍රීඩා පරිසරයක්,” යනුවෙන් Rahul Dravid වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දියාව සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයට මොහාලි හීදී මුහුණ දීමට නියමිතයි.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<