චමරි – මිතාලි සහ මන්සි අතර ලියැවුණ එක්දින තරගාවලිය

225

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පසුගිය දා මෙරට දී නිමා වූයේ තරග 2-1ක් ලෙසින් ඉන්දීය ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරමිනි. නිමා වූ එම තරගාවලියේ වාර්තාවන් අලළා මේ ThePapare.com තබන සටහනක්.

වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවට බැට දෙති

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර

  • තරග ත්‍රිත්වය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීට පෙර තරගාවලි දෙකක් පවත්වා ඇති අතර ඉන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වී නැහැ. පෙර තරගාවලි දෙක ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සංචාරකයන් සේ සහභාගී වූ අතර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව හා තරග කිරීමට එක්දින තරගාවලියක් වෙනුවෙන් මෙරට ට පැමිණෙන්නේ පළමු වරට ය.

  • හඹා ගිය ඉනිම

මෙම තරගාවලියේ පැවති අවසාන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වූයේ හඹා ගිය දැවැන්ත ඉනිමක් ජයග්‍රහණය කිරීමේ ගෞරවය ද අත්කර ගනිමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් හඹා ගිය ඉනිම ලකුණු 254කි.

මීට පෙර 2013 වසරේ දී මුම්බායි හි පැවති අයි. සී. සී. කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 238 හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 9කට ලකුණු 244ක් ලබා ගනිමින් ලත් ජය එතෙක් හඹා ගිය ඉහළ ම ජයග්‍රහණය වූවා.  

  • ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී ලැබූ එකම ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තා කරනු ලැබූ දෙවැනි ජයග්‍රහණය වූවා. මීට පෙර  2013 වසරේ දී අයි. සී. සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 138කින් ලැබූ ජයග්‍රහණය පළමු ජයග්‍රහණය වූවා. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශෂිකලා සිරිවර්ධන විසින් ද ඉන්දීය කණ්ඩායම වර්තමාන නායිකා මිතාලි රාජ් විසින් ද මෙහෙය වූවා.

  • 257/7

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායම විසින් රැස් කරන ලද මෙම ලකුණු ප්‍රමාණය තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එය ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයන් අතර දෙවැනි තැන ගත් අතර ඕනෑම කණ්ඩයමකට එරෙහිව රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවේ ද දෙවැනි තැන ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරගයක දී රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2013 වසරේ දී මුම්බායි හි දී වාර්තා කරන ලද කඩුලු 5කට ලබා ගත් ලකුණු 282 යි.

  • 510/12

ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩිකාවන් එක් ව කටුනායක දී පැවති තරගයේ දී මෙම ලකුණු ප්‍රමාණය රැස් කළා. එය දෙරට අතර තරගය දී රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 253ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිළිතුරු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තා. මෙම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට දෙපිළේ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 99.5ක් වැය වුනා.

  • චමරි අතපත්තු

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහ කණ්ඩායම් දෙක අතුරින් තරගාවලියේ වැඩියෙන් ම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාව වූයේ චමරි අතපත්තුයි. ඉන්දියාව සමඟ නිමා වූ අවසන් තරගය ඇයගේ එක්දින තරග දිවියේ 75 වැනි තරගය වූවා. එම තරගවල දී ලකුණු 2328ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත් ඇය පත්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ  එකම එක්දින ජාත්‍යන්තර තරග ශතක ලාභිනිය (04) වන්නේ ද චමරියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වී ඇති එක්දින ජාත්‍යන්තර හොඳම ඉනිම් 5 ම හිමි කරගෙන සටින්නේ චමරි ය.

  • 205

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් ඉන්දීය සංචාරයේ තරග 3ක දී ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණය තරගාවලියේ ක්‍රීඩිකාවක් විසින් රැස් කරන ලද ලකුණු ප්‍රමාණයේ පළමු තැන ගත්තා. ඇයගේ මෙම ලකුණු ප්‍රමාණයට ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුලත් වුනා. තරගාවලියේ වැඩිම හතරේ පහර (23) එල්ල කළ ක්‍රීඩිකාව සේ ම වැඩිම හයේ පහර (05) සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩිකාව වූයේ ද චමරියි.

මෙම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ඉන්දීය ක්‍රීඩිකාවන් වූ මිතාලි රාජ් (177)  සහ ස්මිත්‍රි මන්ධනා (138) වෙත හිමි වුනා.

  • 115

චමරි අතපත්තු විසින් කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී රැස් කරන ලද මෙම ඉනිම මේ වසරේ දී ඇය විසින් රැස් කරන ලද හොඳම ඉනිම වන්නේ ය. එම ඉනිම වෙනුවෙන් පන්දු 133ක් වැය කළ අතර හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුලත් විය.

  • මිතාලි රාජ්

ඉන්දීය කණ්ඩායමේ සුරක්ෂිත සුක්කානම වන්නේ මිතාලි රාජ්. ඇය මේ වෙද්දී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර අංක එකට ශ්‍රේණිගත වී සිටිනවා. මේ වෙද්දී ඇය තරග 197කට ක්‍රීඩා කරමින් ශතක 7ක් සමඟින් ලකුණු 6550ක් රැස් කරගෙන සිටිනවා.

  • 125*

මිතාලි රාජ් විසින් කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී රැස් කරන ලද මෙම ලකුණු ප්‍රමාණය තරගාවලියේ ක්‍රීඩිකාවක් විසින් ඉනිමක රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා. එම ඉනිම වෙනුවෙන් පන්දු 143ක් වැය කළ ඇය හතරේ පහර 14ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වු කළා. මෙම ලකුණු සංඛ්‍යාව ඇයගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ද වන්නා සේ ම මේ වසරේ දී ඇය විසින් වාර්තා කරන ලද හොඳම ඉනිම ද වූවා. මිතාලි මීට පෙර අයර්ලන්ත කාන්තාවන්ට එරෙහිව 1999 දී එංගලන්තයේ දී රැස් කළ ලකුණු 114 ඇයගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණා.

  • මන්සි ජෝෂි

25 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන මන්සි ජෝෂි ශ්‍රී ලංකා තරග සංචාරය හා එක්වෙන්නෙ වසරක පමණ නිහැඬියාවකින් පසුවයි.

ඇය මෙම තරගාවලියේ තරග 3කට සහභාගී වෙමින් කඩුලු 7ක් ලබා ගනිමින් තරගාවලියේ හොඳම පන්දු යවන්නිය බවට පත් වෙනවා. එහි දෙවැනි තැන ජුහුලාන් ගොස්වාමි ද, තෙවැනි ස්ථානය චමරි අතපත්තු ද සතු වූවා.

  • 3/16

තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ද සතු වූයේ මන්සි ජෝෂි වෙත ය. වසරක නිහැඬියාවකින් පසු තමන් සහභාගී වූ පළමු තරගයේ දී ම පන්දුවාර 6.1ක් යවමින් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත් ඇය මෙම දක්ෂතාව කරනවා. එහි දෙවැනි තැන චමරි අතපත්තු (3/42) සතු වූවා.

ජෝෂිගේ මෙම දක්ෂතාව ඇයගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වූවා. ඇය මීට පෙර 2017 වසරේ මෙරට දී පැවති අයි. සී. සී. කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට ලබා ගත් කඩුලු 3 පළමු තැනේ තිබුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ මස 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<