ශ්‍රි ලංකාවෙන් 12ක් අබුඩාබි T10 ලීගයට

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

3446
Twelve Sri Lankan players

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ක්‍රීඩකයින් කණ්ඩගත කිරීම ඊයේ (23) රාත්‍රියේ දී සිදුවුණු අතර එහි දී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු මිලදී ගැනීමට එම කණ්ඩායම්වල අයිතිකරුවන් තීරණය කර ඇත. 

සන්නාම ක්‍රීඩකයින් (icon players), රඳවා තබා ගත් ක්‍රීඩකයින් සහ නවක ක්‍රීඩකයින් ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී තරග වදිනු ඇත.

2021 වසරේ ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. 2020 වසරේ නොවැම්බර් මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් පෙර සැලසුම් කර ගත් පරිදි පැවැත්වීමට නොහැකි විය.

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රීඩකයින් කණ්ඩගත කිරීම ආරම්භක කරමින් ඒ ඒ කණ්ඩායම්වල සන්නාම ක්‍රීඩකයින් නම් කළ අතර එහි දී ඉසුරු උදාන Bangla Tigers කණ්ඩායමේ සන්නාම ක්‍රීඩකයා බවට පත්වන විට, Pune Devils කණ්ඩායම තිසර පෙරේරා ඔවුන්ගේ සන්නාම ක්‍රීඩකයා ලෙස තෝරා ගත්තා.

2019 වසරේ දී පැවති අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී ලසිත් මාලිංග, කුසල් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ නමුත් එම ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම් රඳවා තබා ගෙන ඇත්තේ ඉසුරු උදාන, දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ දුශ්මන්ත චමීර සහ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් පමණි.

එසේම Andy Flower මහතාගේ පුහුණුකරීත්වයෙන් යුත් Delhi Bulls ඔවුන්ගේ පළමු ක්‍රීඩක තේරීම ලෙස දසුන් ශානක තෝරා ගන්නා විට, Deccan Gladiators කණ්ඩායමේ පළමු ක්‍රීඩක තේරීම වූයේ පසුගිය දා නිමා වූ LPL තරගාවලියේ, තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් වනිඳු හසරංගයි. ඊට අමතරව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද එම කණ්ඩායම විසින් තෝරා ගන්නා ලදි.

Northern Warriors කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් වූ අතර ඒ අතර සිටින්නේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහ වයස අවුරුදු 20ක් වන දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණයි. මහීෂ් 2020 LPL ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාව දිනා ගත් Jaffna Stallions වෙනුවෙන් තරග කිහිපයක්ම ක්‍රීඩා කරමින් දස්කම් පෙන්නුම් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් වන අජන්ත මෙන්ඩිස් සහ චාමර කපුගෙදර Pune Devils කණ්ඩායම සතු විය.

Maratha Arabians, Northern Warriors, DeccanGladiators, Pune Devils, Team Abu Dhabi, Bangla Tigers, Qalandars සහ Delhi Bulls යන කණ්ඩායම් 8 කාණ්ඩ දෙකක් යටතේ මෙවර තරගාවලිය සඳහා තරග වදිනු ලැබේ. 

එහි දී එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක්ම සමඟින් තරග කොට (එක් කණ්ඩායමකට තරග තුනක්) අනතුරුව සුපර් ලීග් වටය සඳහා පිවිසෙන අතර එහි දී මූලික වටයේ දී ක්‍රීඩා නොකළ කණ්ඩායම් සමඟ එක් තරගය බැගින් ක්‍රීඩා කරනු ලැබේ. අවසානයේ දී Playoffs (Qualifier සහ Eliminators) වටයක් ක්‍රීඩා කොට අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් දෙකක් තෝරා ගනු ලැබේ.

  • Bangla Tigers – ඉසුරු උදාන,
  • Delhi Bulls – දසුන් ශානක, දුෂ්මන්ත චමීර
  • Deccan Gladiators – භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ලහිරු කුමාර
  • Pune Devils – තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස්
  • Team Abu Dhabi – අවිශ්ක ප්‍රනාන්දු
  • Northern Warriors – නුවන් ප්‍රදීප්, මහීෂ් තීක්ෂණ

මේ ක්‍රීඩකයින් හැරුණු විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශ්ලේෂක සහ දිල්ලි කැපිටල් කාර්ය සාධන විශ්ලේෂක ශ්‍රීරාම් සෞමියාජලා Bangla Tigers කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස ද තහවුරු කර තිබේ. මෙම ලීගය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරා ගැනීමට ඔහු පෙරමුණ ගෙන සිටින බව ThePapare.com වෙත විශ්වාසදායී ආරංචි මාර්ගවලින් තහවුරු කරයි.

දින 10ක් පුරාවට පැවැත්වෙන තරගාවලිය සඳහා අවසන් මහා තරගය ද ඇතුලත්ව තරග 29ක් ඇතුළත් වන අතර පසුගිය වසරේ දී පැවති අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ලසිත් මාලිංග, දසුන් ශානක, වනිඳු හසරංග සහ කසුන් රාජිත ප්‍රමුඛ Maratha Arabians කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<