ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාගේ හිස්වැසුමට වාර්තාගත මිලක්!

228
Australian cricketer Don Bradman

එදා මෙදාතුර ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රයෙන් වෙන්දේසීන් සඳහා ඉදිරිපත් කර ඉහළ මිලකට අලෙවි වූ සිහිවටන අතරින් දෙවනුවට වැඩිම වටිනාකමින් යුතු සිහිවටනය ලෙස ශ්‍රීමත් Donald Bradman මහතා පැලඳී ඕස්ට්‍රේලියානු ටෙස්ට් හිස්වැසුම අලෙවි වූ බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා රැසක් පසුගිය දිනෙක වාර්තා කර තිබුණි.

ලොව සුපතළ Nirvana සංගීත කණ්ඩායමේ ඉදිරිපෙළ වාදක Kurt Cobain විසින් භාවිත කළ ගිටාරයක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 9ක (ඇ.ඩො.මිලියන 6.8) මුදලක් වැය කරමින් තමන් සතු කරගත් Rode Microphones සමූහයේ නිර්මාතෘ Peter Freedman මහතා විසින් නැවත වතාවක් සියල්ලන්ගේම අවධානය තමන් වෙත දිනා ගනිමින් ඉහළ වටිනාකමකින් යුතු මෙම Baggy Green හිස්වැසූම් මිල දී ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කොට තිබේ. 

මෑත කාලයේ බිහි වූ අග්‍රගණ්‍යතම පා දඟපන්දු විශේෂඥයා ලෙස විරුදාවලිය ලත් Shane Warne පැලඳී ඕස්ට්‍රේලියානු ටෙස්ට් හිස් වැසුම මෙම වසර ආරම්භයේ දී වාර්තාගත මුදලකට අලෙවි වූයේ එතෙක් පැවති වාර්තාවන් සියල්ල අලුත් කරමිනි. 

ඕස්ට්‍රේලියානු ඩොලර් 1,007,500 (ඇ.ඩො. මිලියන 7.6) කට අලෙවි වූ එම සිහිවටනයට පමණක් දෙවෙනි වූ ලොව බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා භාවිත කළ හිස්වැසුම සඳහා නියම වූ මුළු වටිනාකම ලෙස සටහන්ව තිබුණේ ඕස්ට්‍රේලියානු ඩොලර් 450,000ක (ඇ.ඩො.මිලියන 3.4) මුදලකි.

1928 සිට 1948 දක්වා පුරා වසර 20ක කාලයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක දී සිය උපරිම දායකත්වය ලබා දුන් ශ්‍රීමත් Donald Bradman මහතා 1949දී නයිට් පදවියෙන් පවා පිදුම් ලැබීමට වාසනාවන්ත වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කළ සුවිශේෂී සේවාව නිසාවෙනි. 

ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රීමත් Donald Bradman අත්පත් කරගත් සාර්ථකත්වය කියාපෑමට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ ක්‍රීඩා දිවියෙන් සමුගන්නා අවධිය වන විටත්  පිතිකරණ සාමාන්‍ය 99.94ක් වැනි අදහාගත නොහැකි තලයක රඳවා ගැනීමට ඔහු සමත්කම් දැක්වූ බැවිනි.   

තවත් ක්‍රිකට් පුවත්:

Sir Bradman වැනි ඕස්ට්‍රේලියානු පුරාවෘත්තයකගේ ටෙස්ට් හිස් වැසුමේ වත්මන් හිමිකරුවා වීමට ලැබීම තමන්ට ඉමහත් ආඩම්බරයක් බව Freedman මහතා පවසා තිබුණේ යුගයක් වෙනස් කළ එවැනි පුරෝගාමියෙකුගේ හිසට සෙවණ ලබා දුන් හිස්වැසුමට උරුමකම් කීමට ලැබීමම එක්තරා භාග්‍යයක් බවයි.

මෙහි දී ඔහු තවත් සුවිශේෂී කාරණාවක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීමට ද කටයුතු කොට තිබුණේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට්ලෝලීන්ට ද මෙම ඉතිහාසගත අවස්ථාවේ කොටස්කරුවන් වීමට අවැසි මාර්ගය සකසා දෙමිනි.

“මම සැලසුම් කරලා තියෙනවා Sir Bradmanගේ හිස් වැසුම රට වටා සංචාරයේ රැගෙන යන්න. මොකද මම විශ්වාස කරනවා ක්‍රිකට් වලට ආදරය කරන ගොඩක් දෙනා ඒ අදහසත් එක්ක එකඟ වෙයි කියලා.”

මෙම හිස්වැසුම වෙන්දේසි කිරීමට මූලික වශයෙන් හේතුපාදක වී තිබෙන්නේ එතෙක් එම හිස්වැසුමට උරුමකම් කී පුද්ගලයා වංචනික ක්‍රියාකාරකම් රැසක් සඳහා නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වීමයි.

1928දී බ්‍රිස්බින් හිදී එංගලන්තයට එරෙහිව තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ Bradman ඉන් අනතුරුව ඔහුගේ සංකේතාත්මක හිස්වැසුම 1959 දී සිය  පවුලේ හිතවතෙකු වන Peter Dunham වෙත ලබා දී තිබුණේ තිළිණයක් ලෙසිනි. නමුත් මෑතක වාර්තා වූ සිදුවීම් මාලවක් මුල්කොට ගනිමින් සිදු කළ පොලිස් පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වූයේ Dunham ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ආයෝජකයින්ගෙන් සොරාගෙන ඇති බවයි. 

ඒ අනුව ඔහුට එරෙහිව වසර අටක සිර දඬුවමක් පැමිණවීමට පැවති නඩු විභාගයන්ගෙන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීරණයකොට තිබේ. ඒ අනුව Bradmanගේ හිස්වැසුම වෙන්දේසි කිරීමෙන් ලැබෙන ආදායමෙන් අගතියට පත්වූ පාර්ශවයන් ඔවුන්ගේ හිඟ මුදල් පියවා ගැනීමට අවස්ථා කිහිපයක දී ම උත්සාහකොට තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<