ප්‍රංශ අවදානම් කළමනාකරණයේ ආදර්ශය – ඩිඩියර් ඩෙෂාම්ප්

6233
@REUTERS

වීරසිංහ බියගුල්ලෙකු විය හැකිය. ගුණරත්න ගුණමකුවෙකු විය හැකිය. එහෙත් ඩෙෂාම්ප් (Deschamps) සැබවින්ම “චෑම්ප්”(Champ) කෙනෙකි, ශූරයෙකි. අවදානම් ගැනීම සහ ඒවා ජය ගැනීම ගැන යමෙකු ආදර්ශයක් සොයන්නේ නම්, පාපන්දු ලෝක කුසලානයේ ප්‍රංශ පුහුණුකරු ඩෙෂාම්ප්ගේ ආදර්ශය සැබෑ මාණික්‍යයකි. ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වශයෙන් පාපන්දු ලෝක කුසලාන දෙකක පහස ලැබූ ලොව තෙවැන්නා ඩෙෂාම්ප් ය. ඔහුට පෙර ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වශයෙන් එසේ ලෝක ශූරයන්ව තිබුණේ බ්‍රසීලයේ මාරියෝ සගාලෝ සහ ජර්මනියේ ෆ්‍රාන්ස් බෙකන්බවර් පමණි.

පුහුණුකරුවෙකු ලෙස ලෝක මාධ්‍ය ඉදිරියේ තමන්ගේ තීරණ විශ්වාස කරමින්, සැලසුමකට අනුව ජයග්‍රහණය කරා යෑම ඩෙෂාම්ප් ආදර්ශයෙන්ම පෙන්වා ඇත්තේ ප්‍රංශ පාපන්දු කණ්ඩායමට ඉතිහාසයේ දෙවැනි ලෝක කුසලානය හිමිකර දෙමිනි. තරගාවලියට පෙර ඔහු වෙත එල්ලකෙරුණු දබරැඟිලි ගණන බොහෝය. එහෙත් ඩෙෂාම්ප් ඊට වැඩි අභියෝග වලට මුහුණ දුන් කෙනෙකි.     

ඩිඩියර් ඩෙෂාම්ප්, ප්‍රංශ පාපන්දු කණ්ඩායමට එක්වූයේ ප්‍රංශ පාපන්දු ඉතිහාසයේ අඳුරු කාලයකදීයි. 1989 දී ඔහු ප්‍රංශ පාපන්දු වරම දිනාගත්ත ද, 1990 සහ 1994 යන වර්ෂ දෙකෙහි දී ම ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේවත් නැත. 1992 යුරෝ කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වන්නටත් ඔවුනට සිදු විය.

@i.pinimg.com – ඩෙෂාම්ප් ක්‍රීඩකයෙකු ලෙස

ප්‍රංශ පාපන්දු සලකුණක් සේ හැඳින්වෙන එරික් කැන්ටෝනා නායකත්වයේ සිටිය දී වසරක තරග තහනමකට ලක්විය. එහෙත් එතැන් සිට ප්‍රංශ පාපන්දු නායකත්වය භාර ගත් ඩෙෂාම්ප් 1996 යුරෝ කුසලානයේ අවසන් පූර්ව තරගය දක්වා තම කණ්ඩායම මෙහෙයවිය. එය, 1986 පාපන්දු ලෝක කුසලානයේ සිට ජාත්‍යන්තර තරගාවලියක දී ප්‍රංශ පාපන්දු කණ්ඩායමක් එතෙක් දැක්වූ හොඳම දස්කමයි.

වීරයන් සේ පිටියට පැමිණ තරග පරාජය වී නිවස බලා යෑමට වඩා, සාමාන්‍ය කණ්ඩායමක් සේ පැමිණ තරග ජයගෙන ඉහළට යෑම ප්‍රංශයට හොඳින් පුරුදු ය. 1998 පාපන්දු ලෝක කුසලානය මීට හොඳම උදාහරණයකි. එවකට ප්‍රබලතම ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම වූ බ්‍රසීලයේ ‘තරු’ පරදවා අවසන් මහා තරගයේ දී ප්‍රංශය ගෝල 3-0ක් ලෙස ජය ගත්තේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමිනි. ඔවුන් සත්කාරකයන් වූ බව ඇත්තය. එහෙත් එක් ගෝලයකින් සියලු ඉරණම් වෙනස් විය හැකි පාපන්දු ක්‍රීඩාවෙන් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම සත්කාරකයන් වූවා හෝ නැතා ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී නම් සත්කාරකයන් තමන්ට රිසි පරිදි තණතිලි සකස් කරගනියි. පාපන්දු ක්‍රීඩාවේ පිටිය, පන්දුව සහ ගෝලයේ දිග පළල යන කිසිවක් සත්කාරකයන්ගේ උවමනාවට වෙනස් වන්නේ නැත.

@scroll.in – 1998 ලෝක ශූර ප්‍රංශ පාපන්දු කණ්ඩායම. ඩෙෂාම්ප් දකුණු කොනේ.

1998 ලෝක කුසලාන ජයග්‍රහණයත්, 2002 යුරෝ කුසලාන ජයග්‍රහණයත් ලබා ගැනීමෙන් පසු ඩෙෂාම්ප් ක්‍රීඩකයෙකු වශයෙන් පාපන්දු පිටියට සමුදීමට තීරණය කළේය. එවකට තරග 103ක් ප්‍රංශ නිල ජර්සිය හැඳ ක්‍රීඩාකොට ගෝල 4ක් පමණක් ලබාගෙන තිබූ ඔහුව ‘ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයන් 125දෙනා’ගේ ලැයිස්තුවට ඇතුළත් කළේ සුප්‍රකට බ්‍රසීල ප්‍රහාරක පේලේ විසිනි. පාපන්දු යනු ගෝල පමණක්ම නොවන බවට ඒ හොඳම උදාහරණයකි.

සිනෙඩින් සිඩාන්, තියරි ඔන්රි ආදී ප්‍රංශ පාපන්දු තරු ගැන ශ්‍රී ලාංකික අපට හොඳ හැටි මතක තිබුනත් ඩෙෂාම්ප් මේ සියල්ලන්ටම පිටුපසින් හිඳ මුක්කු ගැසූවෙකි. සහාය දුන්නෙකි. ලෝක කුසලාන තරු අතට ගෙනයන්නේ එවන් මැදපෙළ/පසුපෙළ ක්‍රීඩකයන් ය. ඩෙෂාම්ප් මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකි.

පාපන්දු තරග බිමෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පාපන්දු කළමනාකාර ධූරයන් හෙබවූ ඔහු 2004 දී මොනාකෝ කණ්ඩායම වෙනුවෙන් කළ සේවය අගයමින් ප්‍රංශ ලීගයේ “වසරේ පාපන්දු කළමනාකරුවා” යන සම්මානය ද ඔහුට හිමි විය. එහෙත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ධූරය ලබා ගැනීමට ඔහුට තවත් වසර 8ක් ගතවිය.

2006 වසරේ දී ලෝක අනුශූරතාවය දිනා ගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායම 2010දී පළමු වටයෙන්ම ඉවත් විය. පසුව 2014 දී ඩෙෂාම්ප් යටතේ මේ තරුණ පාපන්දු කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණියේය. එහෙත් ඩෙෂාම්ප්ගේ නියම වාරය පැමිණෙන්නේ 2018 වසරේ දීයි.

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සංචිතය තෝරාගන්නා විට ප්‍රංශය සතුව ප්‍රබල ප්‍රහාරකයන් කිහිප දෙනෙකු සිටියේය. 2014 දී වඩාත් තරුණ ක්‍රීඩකයන් වූ ඇන්ටොයින් ග්‍රීස්මාන්, පෝල් පොග්බා, රෆායෙල් වරාන් ඇතුළුව එංගලන්ත ලීගය තුළ නමක් දිනා ගත් තරුණ ප්‍රහාරකයන් වූ ඇන්තනී මාසියෙල් සහ ඇලෙක්සැන්ද්‍රේ ලැකසෙට් ද ප්‍රංශය තුළ සිටියේය. බයර්න් මියුනික් කණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරක කින්ග්ස්ලි කෝමන් සහ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ඒඩ්‍රියන් රැබියු ද ප්‍රංශයට යොදාගත හැකිව තිබුණි. එහෙත් පුහුණුකරු ඩෙෂාම්ප් ගත් තීරණය ඊට හාත්පසින්ම වෙනස් එකකි.

@heightline.com – ඩෙෂාම්ප් හට පැහැදිලි සැලසුමක් තිබිණි

ඇන්ටොයින් ග්‍රීස්මාන් සමඟින් ඉදිරිපෙළ ක්‍රීඩා කිරීම සඳහා ලැකසෙට් හෝ මාසියෙල් තෝරානොගත් ඔහු 19 හැවිරිදි කිලියන් ම්බාපේ සංචිතයට කැඳවූයේය. මෙය මාධ්‍ය මවිතයට පත්කළේය. 23 දෙනාගේ සංචිතයෙන් ක්‍රීඩකයන් පස්දෙනෙකු හැර අනෙකුත් සියලු දෙනාම වයස අවුරුදු 30ට අඩු අයවලුන්ය. එරට දක්ෂතම ප්‍රහාරකයන් දෙදෙනෙකු සංචිතයෙන් ඉවතලා සුහුඹුල් තරුණයන් යොදාගැනීම ගැන මාධ්‍ය විසින් ප්‍රශ්න නගන්නට වූයේ ඒ මොහොතේ දීයි. එහෙත් ඩෙෂාම්ප් හට පැහැදිලි සැලසුමක් තිබුණි. අවදානමට හොඳින්ම සූදානම්ව ඔහු තරගාවලියට පිටත්වුණේය.

තරග ආරම්භක ලැයිස්තුවේ ම්බාපේ සුපුරුදු නමක් විය. වයස අවුරුදු 25ට අඩු තරුණයන්ගෙන් සැදුම්ලත් ආරක්ෂක පෙළ සෑම තරගයක දී ම ඉදිරියට ගොස් ආක්‍රමණයේ යෙදෙන්නට ද පසුපසට පැමිණ ආරක්ෂාවේ යෙදෙන්නට ද තරම් ජවයකින් යුත් විය. රුසියාවේ දී ආක්‍රමණය අත්‍යාවශ්‍ය වන බැව් ඔහු හොඳින් විශ්ලේෂණය කොට ගෙන තිබුණි. මැදපෙළ දක්ෂයෙකු වූ අත්දැකීම් සහිත පොග්බා වැඩි ආක්‍රමණයට නොයොදවා ආරක්ෂක පෙළ ආසන්නයේ ක්‍රීඩා කිරීමට යොදාගෙන තිබිණි. අවසන් මහා තරගයේ දී පමණක් ඔහුව ආක්‍රමණයටත් යොදාගනු දැකිය හැකි විය.

@cdn.newsapi.com.au – පොග්බා, ලෝක කුසලානය අතැතිව

ඩෙෂාම්ප්ගේ සැලසුම් අවුල් නොකළ සියලු ක්‍රීඩකයන් වැඩිපුර කරන්නට නොගොස් තමතමන්ගේ රාජකාරි හරිහැටි ඉටු කළේය. තරු අනවශ්‍ය ය. අවශ්‍ය වන්නේ තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකරණ ක්‍රීඩකයන් 11 දෙනෙකුගේ කණ්ඩායමකි. ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ද මෙවැන්නකි. ඔබට 1996 ලෝක කුසලානය දිනාගත් තරු රහිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිහිකරන්නේ ඩෙෂාම්ප් සිදු කළේ කුමක් දැයි පැහැදිලි කිරීමටයි. ඔහු සිදු කළේ කණ්ඩායමක් නිර්මාණය කිරීමය. එසේම දක්ෂ  යොවුන් ක්‍රීඩකයෙකුට නිදහසේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමය. 1998 දී තරුණ සිනෙඩින් සිඩාන් හට අවස්ථාව ලබා දුන් පරිදිම අවස්ථාවන් ලබා දීමය.

ඊට කිසිදු අවමානයක් සිදුනොකරමින් කිලියන් ම්බාපේ තරගාවලිය පුරා ගෝල 4ක් වාර්තා කරමින් යොවුන් ක්‍රීඩකයෙකු ලෙස වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්විය. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයක දී ගෝලයක් වාර්තා කළ දෙවැනි යොවුන් ක්‍රීඩකයා වෙමින් ලෝක ශ්‍රේෂ්ඨ පේලේ සමඟින් සමතැන් ගන්නට ද ඔහු සමත් විය. තරගාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහුට හිමි විය. තරගයෙන් අනතුරුව පේලේ ට්විටර් පණිවුඩයක් මඟින් ම්බාපේ හට මෙසේ පවසා තිබුණි. “සංගමයට සාදරයෙන් පිළිගන්නවා!” මේ සියල්ලෙහි නිර්මාතෘ ඩෙෂාම්ප් ය.

@cdn.images.dailystar.co.uk – වයස අවුරුදු 19දීම ලෝක ශූරයෙකු වූ ම්බාපේ

ලයනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, නේමා ජූනියර් වටා බලා සිටිමින් ජයග්‍රහණ බලාපොරොත්තු වූ ක්‍රීඩකයන්ටත්, ප්‍රේක්ෂකයන්ටත් ඩෙෂාම්ප් නම් පුහුණුකරුවා විසින් ලබා දී ඇති පණිවුඩය, පැය කිහිපයක පාපන්දු දේශනයක් වැනියි.

මේ තරුණ සංචිතයට අවශ්‍ය පිය ගුණය සහිත පුහුණුකාරීත්වය ගැන ලොව සෑමදෙසින්ම ඇසෙන්නේ ප්‍රංශය ලෝක කුසලානය දිනා ගත් පසුය. ගෝල 4-2ක් ලෙස ක්‍රොඒෂියාව පරදවා ප්‍රංශය ලෝක කුසලානය ජයග්‍රහණය කළ පසු එම ක්‍රීඩකයන් ඩෙෂාම්ප්ව ඉහළ දමන්නට පටන්ගත්තේය. එතරම් ඩෙෂාම්ප්ගේ ශක්තිය ප්‍රංශ කණ්ඩායමට දැනී ඇත.

“අපට තාම අපි කළ දේ ගැන අවබෝධයක් නෑ. අපි පැරීසියට ගිහාම අපට අවබෝධ වේවි.” ප්‍රංශ ආරක්ෂක පෙළ ක්‍රීඩක ලූකස් හර්නැන්ඩස් New York Times වෙත තරගයේ ජයග්‍රහණයෙන් පසු පවසා තිබිණි.

අවසන් මහා තරගයට පෙර ක්‍රොඒෂියාව 2018 ලෝක කුසලානය තුළ අතිරේක කාලය තුළ දී පිට පිටම තරග 3ක්ද, දඬුවම් පහර මඟින් තරග 2ක්ද ජයගෙන තිබිණි. ඒ බව හොඳින් වටහා ගත් ඩෙෂාම්ප් නිල තරග කාලය තුළ දී ම තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කොට තිබිණි. තරගාවලියේ එතෙක් පසුපෙළට වී ක්‍රීඩා කරමින් සිටි පොග්බා මඳක් ඉදිරියට පැමිණ ක්‍රීඩා කළේය. ප්‍රහාරකයන් සියලු දෙනාම තම පාදවල ඉදිරි ඇඟිලි මතට බර යොදා තිබුණි. ලෝක කුසලානයක් ජය ගැනීමට ලොකු ලොකු නම් අනවශ්‍ය බවත්, රාජකාරිය හඳුනා ගත් කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔවුන් අද පසක් කොට ඇත.

“පුදුමාකාරයි! මේක ළාබාල කණ්ඩායමක්, අද ඉන්නෙ ලෝකෙන්ම ඉහළින්! සමහර අය අවුරුදු 19දීම ශූරයන්.” ඩෙෂාම්ප් එසේ කියයි. පාපන්දු ඔස්තාර්ලා කුමකින් කුමක් කීවද, තරගයෙන් තරගය ඉදිරියට ඇදෙමින් අවශ්‍යම මොහොතේ පහරදීමට ප්‍රංශ කණ්ඩායම හුරුකළ “ශූර පුහුණුකරු” අද කියන්නේ එසේයි.

“අපි මහලොකු විදියට ක්‍රීඩා කළේ නෑ. අපි පෙන්නුවෙ අපේ මානසික ශක්තියයි.” ඩෙෂාම්ප් තරගයෙන් අනතුරුව එසේ කීවේය.

@thetimes.co.uk – ඩෙෂාම්ප්, 1998 ලෝක ශූරතා තරගයෙන් අනතුරුව

1998 දී ක්‍රීඩකයෙකු ලෙස අහිමි වූ පාපන්දු ගෞරවය ප්‍රංශය වෙත ලබා දීමට කැපවූ ඩිඩියර් ඩෙෂාම්ප්, පුහුණුකරුවෙකු වශයෙන් 2018 පාපන්දු ලෝක කුසලානයට කරගැසුවේය. සම්මාන ප්‍රදානෝත්සවය අවසන් වන විට ලුෂ්නිකි ක්‍රීඩාංගණයට අහස් කුසින් වැසි ඇදවැටුණේ ද ඔහුට උපහාරයක් මෙනි.

@static.independent.co.uk – “කිසිවිටෙක අවදානමක් නොගන්නා, ජයග්‍රහණ නොලබයි.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<