බ්‍රසීලයට ඉතිහාසගත රන් පදක්කමක්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

818
Tokyo Olympic 2020

මෙවර ඔලිම්පික් උළෙලේ දී නව ක්‍රීඩා ඉසව්වක් ලෙස එක්වූ Surfing ක්‍රීඩාවේ පළමු රන් පදක්කම ජයග්‍රහණය කිරීමට බ්‍රසීලයේ Italo Ferreira අද (27) දිනයේ සමත් වුනා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සිව්වැනි දිනයේ විශේෂ සිදුවීම් කිහිපයක් මේ.

>> මැතිව්ගේ ඉසව්වේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

Surfing 

පිරිමි Surfing ඉසව්වේ අවසන් තරගයේ දී මුළු ලකුණු 15.14ක් රැස්කර ගනිමින් ජයග්‍රහණය කළ බ්‍රසීලයේ Italo Ferreira හට ඔලිම්පික් ඉතිහාසයේ Surfing ක්‍රීඩාවේ පළමු රන් පදක්කම හිමි වුනා. Italo හමුවේ අවසන් තරගයේ දී පරාජයට පත්වූ ජපානයේ Kanoa Igarashi (6.60) හට රිදී පදක්කම හිමි වන විට ඕස්ට්‍රේලියාවේ Owen Wright හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

කාන්තා Surfing ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Carissa Moore (14.93) සමත් වුනා. මෙම ඉසව්වේ රිදී පදක්කම අවසන් තරගයේ දී Carissa හමුවේ පරාජයට පත්වූ දකුණු අප්‍රිකාවේ Bianca Buitendag (6.60) හට හිමි වූ අතර ජපානයේ Amuro Tsuzuki ලෝකඩ පදක්කම දිනා ගත්තා.  

පිහිනුම් (Swimming) 

කාන්තා මීටර 100 පසුපස ආර ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown (57.47) සමත් වුනා. එහි රිදී පදක්කම කැනඩාවේ Kylie Masse (57.72) විසින් දිනා ගන්නා විට ඇමරිකා එක්සත් ජනපදයේ Regan Smith (58.05) විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

(නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown) – ඡායාරූපය – olympics.com

මෙම ඉසව්වේ මූලික වටයේ තරග ආරම්භයේ සිටම ඔලිම්පික් වාර්තා බිඳ හෙළීම කාගේත් අවධානයට ලක්වුනා. කැනඩාවේ Kylie Masse විසින් පසුගිය 25 වැනිදා පැවති මූලික වටයේ තරගයක දී තත්පර 58.17 කාලයක් වාර්තා කරමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටවූවා. 

ඇයට පසුව තරග වැදුණු ඇමරිකාවේ Regan Smith තත්පර 57.96කින් ඉසව්ව නිමා කළේ ඔලිම්පික් වාර්තාව තමා සතුකර ගනිමින්. Reganට පසුව මූලික වටයේ තරගයට සහභාගී වූ ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown තත්පර 57.88කින් ඉසව්ව නිමා කර ඔලිම්පික් වාර්තාව තමා සතුකර ගත්තා.

අවසන් පූර්ව වටයේ දී ඇමරිකාවේ Regan Smith ඔලිම්පික් වාර්තාව හිමිකර ගැනීමට සමත් වුනේ තත්පර 57.86ක දක්ෂතාවයක් පෙන්වමින්. නමුත් අවසන් තරගයේ දී එය Kaylee McKeown විසින් බිඳ දමනු ලැබුවා.

කාන්තා මීටර 100 ලය ආර ඉසව්වේ රන් පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ 17 හැවිරිදි Lydia Jacoby (1:04.95) විසින් හිමිකර ගත්තා. රිදී පදක්කම හිමි කර ගත් දකුණු අප්‍රිකාවේ Tatjana Schoenmaker (1:05.22), මූලික තරග වටයේ දී නව ඔලිම්පික් වාර්තාවක් (1:04.82) පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්. මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ Lilly King හට ලෝකඩ පදක්කම හිමි වුනා.

පිරිමි මීටර 100 පසුපස ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Evgeny Rylov (51.98) සමත් වුනේ නව යුරෝපීය වාර්තාවක් පිහිටුවමින්. එහි රිදී පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Kliment Kolesnikov (52.00) විසින් දිනා ගත්තා. මෙම ඉසව්වේ වර්තමාන ලෝක වාර්තාවට සහ ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ Ryan Murphy (52.19) හට හිමි වූයේ ලෝකඩ පදක්කම වීම සුවිශේෂී සිදුවීමක්. 

(Evgeny Rylov තම ඉසව්ව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව) ඡායාරූපය – olympics.com

පිරිමි මීටර 200 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට මහා බ්‍රිතාන්‍යයේ Thomas Dean (1:44.22) සමත් වුනා. එහි රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයේම Duncan Scott (1:44.26) හට හිමි වන විට ලෝකඩ පදක්කම බ්‍රසීලයේ Fernando Scheffer (1:44.66) විසින් දිනා ගත්තේ නව දකුණු ඇමරිකානු වාර්තාවක් සමඟින්. 

බර එසවීම (Weightlifting) 

කාන්තා 59kg බර පන්තිය යටතේ තරග වැදුණු චීන තායිපේ ක්‍රීඩිකා Kuo Hsing-chun නව ඔලිම්පික් වාර්තා තුනක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. Kuo විසින් Snatch ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 103, Clean & Jerk ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 133 සමඟ ඇය විසින් එසවූ මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 236 ද නව ඔලිම්පික් වාර්තාවන් ලෙස සටහන් වුනා. මෙම බර පන්තියේ ලෝක වාර්තා තුන ද පවතින්නේ Kuo Hsing-chun සතුවයි. 

(රන් පදක්කම දිනූ චීන තායිපේ ක්‍රීඩිකා Kuo Hsing-chun) ඡායාරූපය – olympics.com

මෙම ඉසව්වේ රිදී පදක්කම Turkmenistan නියෝජනය කරන Polina Gurýeva විසින් හිමි කර ගත් අතර ජපානයේ Mikiko Ando හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

කාන්තා 64kg බර පන්තිය යටතේ තරග වැදුණු කැනඩාවේ Maude Charron විසින් රන් පදක්කම හිමිකර ගත්තේ Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක්, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 131ක් සහ මුළු බර කිලෝග්‍රෑම් 236ක් ඔසවමින්. ඉතාලියේ Giorgia Bordignon හට රිදී පදක්කම හිමි වන විට චීන තායිපේ ක්‍රීඩිකා Chen Wen-huei හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

වෙඩි තැබීම (Shooting) 

මිශ්‍ර කණ්ඩායම් 10 metre air pistol ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චීනයේ Jiang Ranxin සහ Pang Wei සමත් වුනේ පළමු සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී නව ඔලිම්පික් වාර්තාවක් (582-26x) පිහිටුවමින්. රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Vitalina Batsarashkina සහ Artem Chernousov විසින් රිදී පදක්කම දිනා ගන්නා විට යුක්රේනයේ Olena Kostevych සහ Oleh Omelchuk හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

චීනයේ Yang Qian සහ Yang Haoran විසින් මිශ්‍ර කණ්ඩායම් 10 metre air rifle ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තා. ඔවුන් දෙදෙනා විසින් පළමු සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී නව ඔලිම්පික් වාර්තාවක් 633.2 පිහිටුවීමට ද සමත් වුනා. ඇමරිකා එක්සත් ජනපදයේ Mary Tucker සහ Lucas Kozeniesky විසින් රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Yulia Karimova සහ Sergey Kamenskiy හට හිමි වුනා. 

ජූඩෝ (Judo) 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා 63kg බර පන්තියේ ශූරිය වූ ස්ලෝවේනියාවේ Tina Trstenjak මෙවර ඔලිම්පික් උළෙලේ දී පරාජයට පත් කරමින් ප්‍රංශයේ Clarisse Agbegnenou විසින් රන් පදක්කම ජයග්‍රහණය කරනු ලැබුවා. 2016 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම වීම විශේෂත්වයක්. ලෝකඩ පදක්කම ඉතාලියේ Maria Centracchio සහ කැනඩාවේ Catherine Beauchemin-Pinard හට හිමි වුනා.

(Clarisse Agbegnenou සහ Tina Trstenjak අවසන් තරගය අතරතුර) ඡායාරූපය – olympics.com

පිරිමි 81kg බර පන්තියේ අවසන් මහා තරගයේ දී ජපානයේ Takanori Nagase විසින් රන් පදක්කම දිනා ගත්තේ මොන්ගෝලියාවේ Saeid Mollaei පරාජයට පත් කරමින්. Takanori විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ද සමත් වුනා. මෙවර ලෝකඩ පදක්කම බෙල්ජියමේ Matthias Casse සහ ඔස්ට්‍රියාවේ Shamil Borchashvili විසින් හිමිකර ගත්තා. 

කිමිදුම් (Diving) 

කාන්තා synchronized 10m platform ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනය නියෝජනය කළ 15 හැවිරිදි Chen Yuxi සහ 17 හැවිරිදි Zhang Jiaqi සමත් වුනේ පැනීම් 5ක් අවසානයේ මුළු ලකුණු 363.78ක් හිමිකර ගනිමින්. ඇමරිකා එක්සත් ජනපදයේ Delaney Schnell සහ Jessica Parratto විසින් මුළු ලකුණු 310.80ක් වාර්තා කරගෙන රිදී පදක්කම දිනා ගන්නා විට මුළු ලකුණු 299.70ක් වාර්තා කර ගත් මෙක්සිකෝවේ Gabriela Agundez සහ Alejandra Orozco විසින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. 

බයිසිකල් ධාවනය (Cycling) 

කාන්තා cross-country ඉසව්වේ පදක්කම් තුනම ජයග්‍රහණය කිරීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වීම විශේෂ සිදුවීමක් වුනා. මිනිත්තු 1:15:46 කාලයක් වාර්තා කරමින් ඉසව්ව නිමා කළ Jolanda Neff රන් පදක්කම හිමිකර ගන්නා විට Sina Frei මිනිත්තු 1:16:57ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තා. Linda Indergand මිනිත්තු 1:17:05කින් ඉසව්ව නිමා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. 

Softball 

කාන්තාවන් සඳහා බේස්බෝල් (Baseball) ක්‍රීඩාවේ කුඩා වෙනස්කම් කිහිපයක් සමඟ විශේෂිත වූ පන්දුවකින් ක්‍රීඩා කරන මෙම ඉසව්ව 2008 වසරේ ඔලිම්පික් උළෙලෙන් පසුව නැවත මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කර තිබෙනවා. 

මූලික තරග වටය අවසානයේ පිළිවෙළින් පළමු ස්ථානය සහ දෙවන ස්ථානය හිමි කර ගත් ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය රන් පදක්කම සඳහා තරග වැදුණා. එහි දී නියමිත ඉනිම් 7 අවසානයේ ලකුණු 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජපානය සමත් වුනේ ඒ වන විට අපරාජිතව සිටි ඇමරිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්. 

කැනඩාව සහ මෙක්සිකෝව ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු අතර එහි දී තියුණු තරගයකින් අනතුරුව නියමිත ඉනිම් 7 අවසානයේ ලකුණු 3-2ක ජයක් හිමිකර ගැනීමට කැනඩාව සමත් වුනා. 

ටෙනිස් (Tennis) 

කාන්තා කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස පැවති ජපානයේ Naomi Osaka සහ චෙක් ජනරජයේ Marketa Vondrousova අතර තරගයෙන් තරගවට 2-0 (6-1, 6-4) ක් ලෙස ජයග්‍රහණය කිරීමට Vondrousova සමත් වුනා. Naomi Osaka වර්තමානයේ කාන්තා කේවල ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

ටයිකොන්ඩෝ (Taekwondo) 

කාන්තා +67kg බර පන්තිය 

  1. රන් පදක්කම – Milica Mandić (සර්බියාව) 
  2. රිදී පදක්කම – Lee Da-bin (දකුණු කොරියාව) 
  3. ලෝකඩ පදක්කම – Althea Laurin (ප්‍රංශය) සහ Bianca Walkden (මහා බ්‍රිතාන්‍යය) 

පිරිමි +80kg බර පන්තිය 

  1. රන් පදක්කම – Vladislav Larin (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Dejan Georgievski (උතුරු මෙසඩෝනියාව) 
  3. ලෝකඩ පදක්කම – In Kyo-don (දකුණු කොරියාව) සහ Rafael Alba (කියුබාව)  

Canoeing 

කාන්තා slalom K-1 ඉසව්ව 

  1. රන් පදක්කම – Ricarda Funk (ජර්මනිය) 
  2. රිදී පදක්කම – Maialen Chourraut (ස්පාඥ්ඥය) 
  3. ලෝකඩ පදක්කම – Jessica Fox (ඕස්ට්‍රේලියාව) 

කඩු හරඹ (Fencing) 

කාන්තා කණ්ඩායම් épée ඉසව්ව 

  1. රන් පදක්කම – Julia Beljajeva, Irina Embrich, Erika Kirpu සහ Katrina Lehis (එස්ටෝනියාව) 
  2. රිදී පදක්කම – Choi In-jeong, Kang Young-mi, Lee Hye-in සහ Song Se-ra (දකුණු කොරියාව) 
  3. ලෝකඩ පදක්කම –  Rossella Fiamingo, Federica Isola, Mara Navarria සහ Alberta Santuccio (ඉතාලිය) 

තුන්ප්‍රයාම (Triathlon) 

කාන්තා කේවල ඉසව්ව 

  1. රන් පදක්කම – Flora Duffy (බර්මියුඩාව) 
  2. රිදී පදක්කම – Georgia Taylor-Brown (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Katie Zaferes (ඇමරිකා එක්සත් ජනපදය)  

Equestrian 

Team dressage – Grand Prix Special 

  1. රන් පදක්කම – Jessica von Bredow-Werndl, Dorothee Schneider සහ Isabell Werth (ජර්මනිය) 
  2. රිදී පදක්කම – Sabine Schut-Kery, Adrienne Lyle සහ Steffen Peters (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Charlotte Fry, Carl Hester සහ Charlotte Dujardin (මහා බ්‍රිතාන්‍යය)  

Gymnastics 

කාන්තා artistic team all-around 

  1. රන් පදක්කම – රුසියානු ඔලිම්පික් කමිටුව (Lilia Akhaimova, Viktoria Listunova, Angelina Melnikova සහ Vladislava Urazova) 
  2. රිදී පදක්කම – ඇමරිකා එක්සත් ජනපදය (Simone Biles, Jordan Chiles, Sunisa Lee සහ Grace McCallum) 
  3. ලෝකඩ පදක්කම – මහා බ්‍රිතාන්‍යය (Jennifer Gadirova, Jessica Gadirova, Alice Kinsella සහ Amelie Morgan)  

මෙවර ඔලිම්පික් උළෙලේ සිව්වැනි දිනය (27) අවසන් වන විට පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ජයග්‍රහණය කරමින් සත්කාරක ජපානය විසින් හිමි කරගෙන තිබෙනවා. 

දෙවැනි ස්ථානය රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදයට හිමිව තිබෙන අතර චීනය රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමඟින් තෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

Tokyo Olympic 2020හෙට (28) දිනයේ දී ද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන අවසන් තරග 23ක් පැවැත්වීමට නියමිතයි.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<