සියැසින් දකින්නට වරම් හිමි වන තර්ස්ටන් – ඉසිපතන 60 වැනි සංග්‍රාමය

සහෝදරයින්ගේ මහා සටන 2023

221

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 60 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත “සහෝදරයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” මේ මස 24 සහ 25 කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

අතීතාවර්ජනය

ඉතිහාසය පුරාවට තීරණයක් සහිතව තරග අවසන් වී ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්. එයට හොඳම නිදසුන වන්නේ මේ දක්වා පවත්වා ඇති තරගවලින් තරග 48ක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරව වීමයි.

ඉසිපතන ක්‍රීඩකයින් අවසන් වරට දෙදින මහා තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 1999 වසරේ දී. ඒ ක්‍රිශාන්ත ජයවර්ධනගේ නායකත්වයෙන්. එසේම 2019 වසරේ දී සඳරු ඩයස්ගේ නායකත්වයෙන් යුත් තර්ස්ටන් කණ්ඩායමට කඩුලු 10ක ජයක් හිමිකරදෙමින් අවසන් වරට දෙදින මහා තරගයක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වුනා.

ඒ අනුව තීරණයක් සහිතව අවසන් වූ මුළු තරග ගණන 10ක් වන අතර ඉන් තරග 6ක් තර්ස්ටන් විද්‍යාලයත් ඉතිරි තරග 4 ඉසිපතන විද්‍යාලයත් ජයග්‍රහණය කර තිබෙනවා.

>> March Madness 2023 <<

තර්ස්ටන් විද්‍යාලය

තෙවැනි වසරේ වර්ණලාභී කඩුලු රකින පිතිකරුවෙක් වන ශානික්‍ය දේශප්‍රියගේ නායකත්වය යටතේ තර්ස්ටන් විද්‍යාලය මෙවර මහා තරගයට අවතීර්ණ වෙනවා.

තර්ස්ටන් විද්‍යාලය 2022/23 තරග වාරයේ දී ඔවුන් සහභාගී වුනු දෙදින තරග 13න්, තරග 2ක පූර්ණ ජයග්‍රහණ ලබා ගෙන තිබෙන අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් ද එයට ඇතුළත්. ඊට අමතරව තවත් තරගයක් කිසිදු ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා. පරාජයන් වෙත අවධානය යොමු කිරීමේ දී පළමු ඉනිමේ පරාජයන් දෙකක් සහ පූර්ණ තරග පරාජයන් දෙකක් ඇතුළත්.

මෙම තරග වාරයේ ඔවුන්ගේ වටිනාම ක්‍රීඩකයා බවට පත්ව තිබෙන්නේ උපනායක විහාස් තෙව්මිකයි. සිය සිව්වැනි මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින 17 හැවිරිදි මැදපෙළ පිතිකරු තෙව්මික අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 527ක් ලබාගෙන තිබෙනවා. ඒ පන්දු යැවීමෙන් දවාගෙන තිබෙන කඩුලු 68ට අමතරවයි.

අනෙක් පසින් මෙම තරග වාරය තුළ ලකුණු 600කට වැඩියෙන් ලබාගෙන තිබෙන නායක ශානික්‍ය දේශප්‍රිය, ලකුණු 400කට වැඩියෙන් ලබාගෙන තිබෙන තේනුක දේවප්‍රිය සහ කඩුලු 54ක් දවාගෙන තිබෙන තනුග පලිහවඩන මෙවර තර්ස්ටන් කණ්ඩායමේ අනෙක් ප්‍රධාන තුරුම්පු වෙනවා.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන හේෂාන් තිලකරත්න මහතා මෙවර තර්ස්ටන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අතර දුමිල පෙරේරා මහතාගේ කණ්ඩායමේ සහාය පුහුණුකරු වෙනවා. එහි කණ්ඩායම් භාර ආචාර්යවරයා වන්නේ මාලක ජයසිංහ මාලක ජයසිංහ මහතා කටයුතු කරන අතර ටී. එම් කරුණානායක මහතා ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

>>Photos – Thurstan College Big Match Preview 2023<<

තර්ස්ටන් විද්‍යාලයීය මහා තරග සංචිතය: ශානික්‍ය දේශප්‍රිය, විහාස් තෙව්මික (උප නායක), රමික සොනාල්, උදීප් එදිරිසිංහ, විශ්ව දනංජය, තනුග පලිහවඩන, තලීෂ නානායක්කාර, තනුජා රාජපක්ෂ, තේනුක දේවප්‍රිය, නවිඳු දුලාන්, දුවිඳු නිශාන්, නවිඳු ප්‍රනාන්දු, අසීම් මොහොමඩ්, උෂාන් ඉමේෂ්, කුෂාන් කාවින්ද, ගගන පෙරේරා

ඉසිපතන විද්‍යාලය

එකම වසරක පාසලේ ක්‍රීඩා කණ්ඩායම් දෙකක නායකත්වය දරනු ලබන දෙවැනි ඉසිපතන ක්‍රීඩකයාට හිමි ගෞරවය ද සහිතව නවීන් කනිෂ්ක මෙවර මහා තරගය තුල ඉසිපතනය මෙහෙයවනවා.

ඉසිපතන විද්‍යාලය ද මෙවර දෙදින තරග වාරයේ දී ඉතාමත් හොඳින් දක්‍ෂතා දක්වා තිබෙනවා. ඔවුන් තරග 9ක් ක්‍රීඩා කරමින් ධර්මපාල විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයක් සමඟ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව පළමු ඉනිමේ එක් පරාජයක් සහ පූර්ණ තරග පරාජයක් ද ඉසිපතන නමට ඉදිරියෙන් ඇතුළත්.

තරග 9ක දී ලකුණු 550කට අධික ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති තේමිය ගුණරත්න පාසල් ක්‍රිකට් තරග වාරය තුල ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වනවා.

ඊට අමතරව යුනෙත් සෙනෙවිරත්න සහ නායක නවීන් කනිෂ්ක ලකුණු 450කට වැඩියෙන් ලබාගෙන තිබෙනවා. මෙම තරගයේ ප්‍රතිඵලය සිය කණ්ඩායම දෙසට යොමු කර ගැනීමට නම් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ඉසිපතන විද්‍යාලයට ඉතාමත් වැදගත් හා තීරණාත්මක වෙනවා.

තරග 9ක දී කඩුලු 45කට හිමිකම් කියන වමතින් පා දඟපන්දු යවන උපනායක සිතුක ගුණවර්ධන මෙවර තරග වාරය තුල ඉසිපතන විද්‍යාලය සතුව සිටින දක්ෂතම පන්දු යවන්නා වනවා. ඔහුට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයින් වන කෙවින් සැමුවෙල් සහ හා දසිත් සේනාල් පිළිවෙළින් කඩුලු 35 සීමාව පසුකර තිබෙනවා.

ප්‍රදීප් නිශාන්ත මහතා මෙවර ඉසිපතන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔහු 2013- 2016 තරග වාරය තුල දී සහ ගෙවුණු වසර 2ක කාලය පුරාවට ඉසිපතන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර දුලීප් ශ්‍රී විනෝජ් කණ්ඩායමේ සහාය පුහුණුකරු වගකීම දරනවා. DPM ජනක මහතා ඉසිපතන ක්‍රිකට් කණ්ඩායම භාර ආචාර්යවරයා ලෙසත් POG ලෙස W. සුමෙද් ප්‍රේමසිරි මහතා කටයුතු කරනවා.

>>Photos – Isipathana College Big Match Preview 2023<<

ඉසිපතන විද්‍යාලයීය මහා තරග සංචිතය: නවීන් කනිෂ්ක (නායක), සිතුක ගුණවර්ධන (උපනායක), තරුෂ නෙත්සර, තේමිය ගුණරත්න, යෙසිත් කළුපහන, සහන් විරාජ්, තරුෂක අශෙල්, ලෙසඳූ කල්පගේ, යුනෙත් සෙනෙවිරත්න, දසිත් සෙනාල්, කෙවින් සැමුවෙල්, දුශාන් මාලිංග, සනිජ රහල්, පවර ගිම්හාන, මලීෂ සඳරුවන්

>>Photos – 60th Battle of the Brothers | Press Conference<<

මෙවර තරග වාරය තුළ කණ්ඩායම් දෙකම ඉතාමත් සමබර ලෙස දස්කම් දක්වා තිබෙනවා.

පෙබරවාරි 24 හා 25 දිනවල SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 60 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය පෙරවරු 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog Viu හරහා සජීව ලෙස නැරඹීම හැකියාව ඔබට සලසා දී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<