සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවට ඉන්දියාවෙන් පැමිණි හොඳම තරග දිනවන්නා

442

දිනය 2000 වසරේ ජනවාරි 25 වෙනිදාය. යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී ය. ඉන්දියානු යොවුන් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු මිචෙල් ජොන්සන්, ශේන් වොට්සන් යන පසු කලෙක ක්‍රිකට් ලෝකයේ නමක් දිනූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 25ක් තුළ ලකුණු 58ක් රැස් කර ගත්තේය. එයට හතරේ පහර පහක් සහ දැවැන්ත හයේ පහර පහක් ඇතුලත් විය.

චක් දේ ඇෆ්ගනිස්තාන්

2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට …….

යොවුන් ලෝක කුසලානය පුරාවට පිත්තෙන් හා පන්දුවෙන් දැක්වූ දස්කම් අනුව තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට ඉහත කී ඉන්දියානු සමත් විය.

යුවරාජ් සිං නම් මෙම යෞවනයා ඉන්දියානු යොවුන් කණ්ඩායමට තේරෙන්නේ පන්ජාබයේ දහනමයෙන් පහළ කණ්ඩායම වෙනුවෙන් දැක්වූ අසාමාන්‍ය දස්කම් නිසාවෙනි. ඒ ආකාරයේ තේරීම් තරගයක දී වරක් ඔහු එක් දිනක් තුල ලකුණු 358ක් රැස් කළේය. මෙම තරුණයාගේ දස්කම මෙසේ වෙද්දී මහේන්ද්‍ර සිං දෝනි පවා නියෝජනය කළ බිහාර් ප්‍රාන්ත දහනමයෙන් පහළ කණ්ඩායම රැස් කර තිබුණේ ලකුණු 357ක් පමණය.

එදා සරවනමුත්තු පිටියේ දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට නොසෑහෙන්න බැට දුන් යුවරාජ් එම වසරේ දී ම ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත විය. ඒ ඉන්දියානු නායක සව්රව් ගංගුලි යිවුන් ලෝක කුසලානයේ දී ඉන්දියානු තරුණ ක්‍රීඩකයින්ගේ දස්කම් ගැන අවධානයෙන් සිටි නිසාවෙනි.

2000 වසරේ අග කෙන්යාවේ පැවති ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් යුවරාජ්ට මුල්ම වතාවට ඉන්දියානු ජාතික කණ්ඩායමෙන් කැඳවීමක් ලැබෙන්නේය.

කෙන්යාවට එරෙහිව මූලික වටයේ තරගයක දී එක්දින වරම් දිනාගත්ත ද කැපී පෙනෙන යමක් කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත. පන්දු යැවීමේ දී පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක යුවරාජ්ට මේ තරගයේ දී පන්දුවට පහර දීමට අවකාශ ලැබුණේ නැත.

ඉන්දියානුවන් ක්‍රීඩා කළ දෙවැනි තරගය එවර ශූරයින්ගේ කුසලානයේ අර්ධ අවසාන පූර්ව තරගයක් විය.

ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවති මෙම තරගයේ දී යුවරාජ් සිං යනු කවරෙක් දැයි ලෝකයාට අවබෝධ විය. ග්ලේන්මැක්ග්‍රාත්, බ්‍රෙට් ලී, ජේසන් ගිලෙස්පිගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියට නයිරෝබි ජිම්කානා ක්‍රීඩාංගණයේ හතර කොනට පහර එල්ල කරන්නට යුවරාජ් සමත් විය.

යුවරාජ්ගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 47කිනි. අවසානයේ ෂේන් ලී ගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබා දී දැවී යන විට යුවරාජ් පන්දු 80ක දී ලකුණු 84ක් වාර්තා කරගෙන සිටියේය. එමෙන්ම යුවරාජ් සිං නම් යෞවනයා පිටියේ පන්දු රැකීමේ දී පෙන්වූ ජවය ක්‍රිකට් ලෝකයට නවමු අත්දැකීමක් විය. ඉතිහාසය පුරාවටම ඉන්දියාවන් පිටියේ පන්දුරැකීම අතින් ඉතාම දුර්වල අඩියක සිටි කණ්ඩායමක් බව ලෝකයාට රහසක් නොවීය.

මේ සියල්ල වෙනස් කිරීමේ පුරෝගාමීයා ලෙස යුවරාජ් හැඳින්වීමේ වැරැද්දක් නැත. පසුකලෙක ඔහුගේ දහනමයෙන් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඩ් කයිෆ් ද ඉන්දියානු වරම් දිනා ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා අතර පිටියේ පන්දු රැකීමේ දී බිහි වූ සුසංයෝගය සෙසු කණ්ඩායම්වලට මහත් හිසරදයක් විය.

නායකයාගේ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කළ සයිමන්ඩ්ස්

2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක ……

එම තරගාවලියේ අවසාන පූර්ව තරගයේ දී නැවතත් ක්‍රියාත්මක වූ යුවරාජ්, ඇලන් ඩොනල්ඩ්, ෂෝන් පොලොක්, ලාන්ස් ක්ලූස්නර් සහ නීකී බෝයේ යන ඇතුළු නම් දැරූ දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය හමුවේ පන්දු 35කින් වේගවත් ලකුණු 41ක් ලබා ගත්තේය. නව යොවුන් යුවරාජ්ගේ මෙම අසාමාන්‍ය පිතිහරඹය නිසාවෙන් එවකට ලෝක ක්‍රිකට් ලෝකයේ ඉහළම තලයේ සිටි කණ්ඩායම් දෙකක් පරදවා ගොස් අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට ඉන්දියානුවන්ට හැකියාව ලැබුණි.

යුවරාජ් සිං නාමය නැවත වතාවක් කරළියට එන්නේ 2001 වසරේ ශ්‍රී ලංකාවේ පැවති කොකා කෝලා තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයේ දී ය.

එහි මූලික වටයේ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවති තරගයක සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සේවාග්, වී. වී. එස් ලක්ෂ්මන් සහ හේමන්ග් බඩානි ඉක්මනින් දැවී ගිය අවස්ථාවක පිටියට පිවිසි යුවරාජ් මනා සංයමයකින් යුතුව අගනා ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු පිටියට පිවිසෙන විට ඉන්දීය ලකුණු පුවරුව කියවුණේ ලකුණු 38කට කඩුලු හතරක් ලෙසිනි.

චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන්ගේ පන්දු සූක්ෂම ලෙස තෝරා බේරාගෙන පන්දුවට පහර දුන් යුවරාජ් පනස්වැනි පන්දුවාරයේ අවසාන පන්දුව එල්ල කරන විට ලකුණු 96ක් රැස් කරගෙන සිටියේය. අධික දාහය හේතුවෙන් මස්පිඩු පෙරලීමකට ලක්වෙමින් අසීරුවෙන් පන්දුවට පහර දුන් යුවරාජ්ට අවසාන පන්දුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු දෙකකි.

තම මංගල එක්දින ශතකය පෙනි පෙනී නොදැවුණ ලකුණු 98කින් සෑහීමකට පත්වන්නට එදා යුවරාජ්ට සිදු විය. නමුත් යුවරාජ් නම් යෞවනයාගේ ඉනිමට පිං සිදුවන්නට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 46කින් පරාජය කරන්නට ඉන්දියානු කණ්ඩායමට හැකියාව ලැබුණි.

යුවරාජ් සිංගේ එක්දින තරග දිවියේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස 2002 වසරේ එංගලන්තයේ පැවති නැට්වෙස්ට් තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගය හැඳින්වීමට පුළුවන්.

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු තුන්සීයකට එහා ඉලක්කය හඹා ගිය ඉන්දියානු ලකුණු පුවරුව වරෙක කියවුණේ ලකුණු 146කට කඩුලු පහක් ලෙසිනි. ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සියලු දෙනා ක්‍රීඩාගාරයට පියමන් කළ අවස්ථාවක ඉන්දියානු ගෞරවය බේරාගැනීම යුවරාජ් සිං සහ මොහොමඩ් කයිෆ්ගේ කර මත වැටී තිබුණි. යුහුසුළුව ලකුණු රැස් කළ ඉන්දියානු තරුණ පිතිකරුවන් දෙදෙනා සයවැනි කඩුල්ලට වේගවත් ලකුණු 121ක් රැස් කරන්නට සමත් වූහ.

යුවරාජ්- කයිෆ් යුගලයට පිං සිදුවන්නට ලෝඩ්ස් පිටියේ බැල්කනියේ සිට විජයග්‍රහණය සමරන්නට සව්රව් ගංගුලි ඇතුළු ඉන්දියානු කණ්ඩායමට හැකියාව ලැබුණි. මෙම නැට්වෙස්ට් කුසලාන ජයග්‍රහණය ඉන්දීය සීමිත පන්දුවාර ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙස අදටත් සැලකේ.

“සීමිත පන්දුවාර ක්‍රීඩාවේ ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයා ඔහුයි.” යුවරාජ්ගේ සමකාලීන ක්‍රීඩකයෙකු වූ ගෞතම් ගාම්භීර් පවසයි. ගාම්භීර් එලෙස පවසන්නේ කිසිවෙකු නොසිතන තැනක සිට ඉන්දියාව උසවා තබන්නට සෙසු ඉන්දියානු ක්‍රීඩකයින්ට නොතිබූ හැකියාවක් යුවරාජ්ට තිබූ බැවිනි.

“ඔහුට තිබුණේ අසාමාන්‍ය සහජ හැකියාවක්” 2000 වසරේ යොවුන් ලෝක කුසලානයේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වූ ඉයන් ඩැනියෙල් සිය ඉන්දියානු ප්‍රතිවාදියා ගැන කියන්නේ එහෙමය.

යුවරාජ් සිං ටෙස්ට් වරම් දිනා ගන්නේ 2003 වසරේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මොහාලි හීදී ය. නමුත් සීමිත පන්දුවාර රටාවේ මෙන් ටෙස්ට් පිටියේ සාර්ථකත්වයක් ලබන්නට ඔහුට හැකියාවක් ලබන්නට ඔහුට හැකියාව ලැබුණේ නැත. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ කෙටි පන්දු හමුවේ ඔහු දැක්වූ දුර්වලතාවයයි.

2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති මුල්ම විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට ජය අත්කර දීම විශාල දායකත්වයක් සැපයූ ක්‍රීඩකයෙකු ලෙස යුවරාජ් හැඳින්වීමට පුළුවන. තරගාවලියේ මූලික වටයේ තරගයක දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 12කින් අර්ධ ශතකය සම්පූර්ණ කරන්නට යුවරාජ් සමත් විය. මෙම ඉනිම අතරතුර ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවාරයකට හයේ පහර හයක් එල්ල කරන්නටත් යුවරාජ් සමත් විය.

එමෙන්ම ඩර්බන් නුවර පැවති අවසන් පූර්ව තරගයේ දී නැවතත් ක්‍රියාත්මක වූ යුවරාජ් ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු 30කින් වේගවත් ලකුණු 70ක් ලබා ගන්නට සමත් විය.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පාකිස්තානු කණ්ඩායම පරදවා මුල්ම විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.

යුවරාජ් සිංගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂීම සංධිස්ථානය ලෙස ඉන්දියානු උපමහද්වීපයේ 2011 පැවති ලෝක කුසලානය හැඳින්විය හැකිය.

2011 ලෝක කුසලානය ආරම්භයේ සිටම යුවරාජ් සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර තරගාවලිය පුරාවට ඉන්දීය කණ්ඩායමට යුවරාජ්ගෙන් ලැබුණු දායකත්වය අතිමහත්ය.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මූලික වටයේ අවසන් තරගයේ දී චෙන්නායි හීදී ශතකයක් වාර්තා කර යුවරාජ් පිට පිට තෙවරක් ලෝක ශූරතාව දිනාගෙන සිටි ඕස්ට්‍රේලියානුවන්ගේ ලෝක කුසලාන ගමන් නිමා කරන්නට අහ්මදාබාද් නුවර දී රැස්කර ගත් අර්ධ ශතකය අග්‍රගණ්‍ය එකක් විය. ලෝක කුසලානය අවසානයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනිමින් යුවරාජ් ලෝකයා හමුවේ ඔප්පු කළේ ඊට අවුරුදු එකොළහකට පෙර සිංහල සමාජ පිටියේ දී ම දිනා ගත් ‍යොවුන් ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය තවමත් වලංගු බවය.

එමෙන්ම 2011 ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඔහුගේ වමත් දඟපන්දුව සහ අති විශිෂ්ට පන්දු රැකීම ඉන්දියානු ජයග්‍රහණයට ලබා දුන් දායකත්වය අතිමහත්ය.

නමුත් යුවරාජ් මේ සියල්ල ලබා දුන්නේ ඔහුගේ ශාරීරික සෞඛ්‍ය ඉතාම දුර්වල වෙමින් සිටි අවස්ථාවක. ඔහුගේ වම් පෙණහැල්ලේ ගෙඩියක් හටගෙන තිබූ අතර එය පිළිකා තත්වයක් බව පසුව සොයාගනු ලැබුවා. නමුත් ක්‍රීඩා දිවිය පුරාවටම පසක් කළ ආකාරයෙන් ඔහු පිළිකාවට එරෙහිව සටන් වදින්නට තීරණය කර තිබුණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් සහ ඉන්දියා පොලිස්හීදී ඔහු ප්‍රතිකාර ලැබුවා. මෙම ප්‍රතිකාර මගින් ඉතා ඉක්මනින් සුවය ලබන්නට යුවරාජ්ට හැකියාවක් ලැබුණා. වැඩිකාලයක් යන්නට මත්තෙන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නට ඔහු වාසනාවන්ත විය. එමගින් යුවරාජ් සෙසු ලෝකයාට දුන් ආදර්ශය ඉතාම ඉහළ එකක්.

පන්දුව පළුදු කිරීම, මාලිංගගේ දෝස් මුරය සහ පාකිස්තානයේ නැගිටීම

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය ……………

2019 ලෝක කුසලානය ඇරඹෙන විට ඉන්දියානු කණ්ඩායම සෑහෙන ස්ථාවරත්වයක් පෙන්නුම් කළ බව නොරහසක්. කෙතරම් අත්දැකීම් තිබුනත් යුවරාජ් වැන්නෙකුට එහි අවස්ථාවක් තිබුණේ නැහැ.

මා ඔවුන්ගෙන් (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය) සමුගැනීමේ තරගයක් ඉල්ලුවේ නැහැ. නමුත් ඔවුන් කිව්වා මට යෝ-යෝ පරීක්ෂණයට මුහුණ දෙන්න. හැබැයි ඔබ එය අසමත් වුනොත් අපි සමුගැනීමේ තරගයක් ඔබට ලබා දෙන්නම් කියල. නමුත් මම කිව්වා යෝ-යෝ පරීක්ෂණය අසමත් වුනොත් මම කෙළින්ම ගෙදර යන්නේ කියල. ඔව්, මම ඒ පරීක්ෂණය සමත් වුනා. එතැනින් එහාට මට කළ හැකි දේ සීමිතයි.”

යුවරාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කරමින් ලෝකයා හමුවේ ප්‍රකාශ කළේය.

“මට කියන්න ඇති දේ බොහෝමයි. නමුත් ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තයේ දී තරග වදින මේ මොහොතේ මා ඒ දේවල් ඔබ හමුවේ කියන්නට කැමති නැහැ. මට ඒ සඳහා කවදා හෝ අවස්ථාවක් ලැබේවි” සැමදා කණ්ඩායම වෙනුවෙන් සියල්ල පරාර්ථකාමයෙන් කැප කළ යුවරාජ් පැවසුවේය.

“දාදා ( සව්රව් ගංගුලි) බොහොමත්ම ස්තුතියි මට ඉන්දියාවට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන. එය මාගේ හදවතේ සැමදා තියේවි.”

අවසන් වරට තමාගේ මූලාරම්භය මතක් කරමින් සව්රව් ගංගුලි නම් තම නියමුවාවන්ට හෘදයාංගම ස්තුතිය පුද කරමින් යුවරාජ් සිං නම් කිරුළු නොපලන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ යුවරජු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<