ඩී. එස්. ඉතිහාසය හා සම වීමට මහානාමවරුන්ගේ අභියෝගය

17 වැනි රන් මහා සටන

669

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මනුර පීරිස් වෙත පැවරී ඇති අතර මහානාම විද්‍යාලය විසින් ඒ වගකීම බාර දී ඇත්තේ සචිර වැලිවත්ත වෙතයි.

මේ දක්වා පැවති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගවල දී 2014 වසරේ දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය කර ඇති අතර එය මෙම තරග ඉතිහාසයේ විසඳුමකින් කෙළවර වූ එක ම තරගය ලෙසින් ද ඉතිහාසයට එක් ව තිබෙනවා.

ඔවුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය ඉතා කෙටි කාලයක් වූවද, ක්‍රිකට් ඉතිහාසය බොහෝ ඈතට දිව යන්නක්. එහි දී දෙවිදුහල් අතරින් ජාතික කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් දායාද කිරීමේ ගෞරවය දිනා සිටින්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි.

කෝසල කුරුප්පුආරච්චි, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, පුබුදු දසනායක, පුලස්ති ගුණරත්න, නවීඩ් නවාස්, ඉසුරු උදාන සහ බිනුර ප්‍රනාන්දු ඔවුන්ගේ ඉතිහාසය වර්ණවත් කරද්දී මහානාමය වෙනුවෙන් ලලිතමාන ප්‍රනාන්දු සහ ධනුශ්ක ගුණතිලකගේ නම් ඉතිහාසයට එක් ව තිබෙනවා.

මහානාම විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රමුඛ පෙළ කණ්ඩායමක් ලෙසින් සැලකෙන මහානාම විද්‍යාලය මෙවර තරගාවලිය නිමා කරන්නේ සම්පූර්ණ ජයග්‍රහණ 2ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් සමඟින්.

ඒ අනුව ඔවුන් මාතර සාන්ත තෝමස් විද්‍යාලයට සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව සම්පූර්ණ තරග ජයග්‍රහණය කරන අතර කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, කඳාන ද මැසිනොද් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරනවා.

එම තරග අතරට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව සම්පූර්ණ තරග පරාජයක් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට සමඟ තරගයෙන් පළමු ඉනිමේ පරාජයක් ද සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය අතර තරග විසඳුමකින් තොරව අවසන් කරනවා.

ඔවුන්ගේ එම ගමනේ දී කණ්ඩායමේ වඩාත් දක්ෂතා දක්වමින් විශ්වාසය දිනා ඇති ක්‍රීඩකයන් අතරින් පෙරමුණේ පසුවෙන්නේ මෙවර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ද නියෝජනය කළ අංජල බණ්ඩාර. ඔහු මේ වන විට අවසන් අදියරේ පසුවෙන අන්තර්  පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 13කට සහභාගී වී ඉනිම් 19ක දී ලකුණු 1161ක් ලබා සිටිනවා. ඊට ශතක 5ක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්.

කණ්ඩායමේ අනෙක් විශ්වාසවන්ත ම පිතිකරු වන්නේ කවිඳු අමමෙත්. ඔහු මේ දක්වා ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 832ක් ලබා සිටිනවා.

6 වැනි වසරේ වර්ණලාභී නායක සචිර වැලිවත්ත ලබා සිටින ලකුණු සංඛ්‍යාව 668ක්. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් ඇතුලත් කිරීමට ඔහු සමත් ව සිටිනවා.

කණ්ඩායමේ අනෙක් ශතකලාභීන් වන්නේ කූජන පෙරේරා සහ රශ්මික පෙරේරා. ඔවුන් සමග ඉනුක කරන්නාගොඩ සහ භානුල අල්ගවත්ත ලකුණු 400 සීමාව පසු කරමින් මහානාමයන් වෙනුවෙන් ගෞරවනීය සේවයක නිරත වී සිටිනවා.

කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතර පෙරමුණේ පසුවෙන්නේ ඉනුක කරන්නාගොඩ. ඔහු මේ දක්වා ලකුණු 447ක් සහ කඩුලු 35ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක 4ක් රැස් කරද්දී ඉනිමක දී කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 3ක් වාර්තා කිරීමට සමත් වෙනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතරට කූජන පෙරේරා සහ විරංග යෙශාන්ගේ නම් ද ඇතුළත් වෙනවා.

කූජන පෙරේරා ලකුණු 407ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දක්වද්දී විරංග යෙශාන් ලකුණු 286ක් සහ කඩුලු 21ක් ලබා ගනිමින් මහානාමය වෙනුවෙන් වර්ණවත් වෙනවා.

පන්දු යවන්නන් අතරින් වෙනුක් හෙට්ටිආරච්චි කඩුලු 23ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වෙද්දී, දුවිඳු රණතුංග, දසිත් ගුණතිලක, සහ ඔමේෂ් උදාර ද පන්දු යැවීමේ දී විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වීමේ මහානාම ලැයිස්තුවට එක් වෙනවා.

මහානාම විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: සචිර වැලිවත්ත (නායක), අංජල බණ්ඩාර (උපනායක), ගිමන්ත දිසානායක, නදීශ් යසිරු, වෙනුක් හෙට්ටිආරච්චි, දුල්නිත් සිගේරා, ඒශාන් විතානගේ, ඉනුක කරන්නාගොඩ, විරංග යෙශාන්, දසිත් ගුණතිලක, කූජන පෙරේරා, කවීෂ ගිම්හාන්, කවිඳු අමමෙත්, භානුල අල්ගවත්ත, දුවිඳු රණතුංග, ඔමේෂ් උදාර, රශ්මික පෙරේරා, චාමික හීනටිගල, ඔෂඳ මුතුගම.

නිලධාරීන්: ඒ. සී. පෙරේරා මහතා (විදුහල්පති) එස්. එම්. ජී. සමරකෝන් (සහකාර විදුහල්පති) ඉෂාර විමලරත්න (ක්‍රීඩා භාර ආචාර්ය) රෝහණ බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය) නිසල් විතානගේ (ප්‍රධාන පුහුණුකරු) සොනාල් දුල්ශාන් ඇල්වලගේ (සහාය පුහුණුකරු)

ඩී. එස්. සේනානායක විද්‍යාලය

මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී අභියෝගාත්මක කණ්ඩායම් අතරට ප්‍රවිෂ්ට වීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට නොහැකි වූව ද ඔවුන් වඩාත් විශ්වාසවන්ත කණ්ඩායමක් ලෙසින් මෙවර රන් සටනට පිවිසීමට නියමිතයි.

නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරන ලද අතර කැළණිය ගුරුකුල විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය සමග තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල වෙතින් පරාජය ලබන ඔවුන් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාල වෙතින් පළමු ඉනිමේ පරාජයන්වලට මුහුණ දෙනවා. කොළඹ වෙස්ලි විද්‍යාලය සමග තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

එම තරගවල දී ඩී. එස්. කණ්ඩායම වෙනුවෙන් නායක මනුර පීරිස් මේ දක්වා ලකුණු 420ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

කණ්ඩායමේ උප නායක ලෙස කටයුතු කරන ගවිරු සෙන්හස් ලකුණු 500ක් ඉක්මවා ලබා ගෙන ඇති අතර කඩුල්ල පිටුපස වගකීම ද පැවරී ඇත්තේ ඔහු වෙතයි.

කණ්ඩායමේ වඩාත් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ සෙනුර සිල්වා. වමතින් පිත්ත හසුරුවන ඔහු ශතකයක් ද සමඟින් ලකුණු 729ක් ලබා ඇති අතර දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 15ක් ලබා සිටිනවා.

පන්දු යවන්නන් අතරින් වඩාත් දක්ෂතා දක්වා තිබෙන්නේ වමතින් දඟපන්දු යවන පූර්ණ සුලක්ෂණ. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 46ක්. ඊට අමතර ව දකුණතින් පිට දඟපන්දු යවන රන්දීශ බණ්ඩාරනායක කඩුලු 34ක් සහ දකුණතින් මද වේගපන්දු යවන අදීශ බණ්ඩාරනායක ද කඩුලු 30ක් ලබා ගෙන ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දක්වා තිබෙනවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය සංචිතය: මනුර පීරිස් (නායක) ගවිරු සෙන්හස් (උප නායක) අදීශ බණ්ඩාරනායක, රන්දිශ බණ්ඩාරනායක, සෙනුර සිල්වා, සොහාන් යාපා, ඩිලාශ් කුමාරනායක, අකීධ වීරසූරිය, මලිත පෙරේරා, කිරාන් පෙරේරා, හිමන්ත කේශාන්, චෙනුල් පිංසර, දේශාන් හෙට්ටිගේ, පූර්ණ සුලක්ෂණ, පී. වරුන්ෂාන්. පී. වර්ෂාන්, ලසඳු අර්ථවිඳු, ශකීල් තාරුක, ශොනාල් බිනුශ්ක, චෙනුක රන්දුල.

නිලධාරීන්: සම්පත් වේරගොඩ මහතා (විදුහල්පති) වජිර අබේවික්‍රම (ක්‍රිකට් භාර ආචාර්ය) ඩිල්ශාන් ගලකැටිය (ප්‍රධාන පුහුණුකරු) හර්ෂ ශ්‍රීනාත් (සහාය පුහුණුකරු)

දෙවිදුහල් අතර පැවැත්වෙන අරවින්ද ද සිල්වා අභියෝග කුසලානය වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහා එක් වෙන දෙවිදුහල් හී කණ්ඩායම් වෙත ThePapare.com උණුසුම් සුබ පැතුම්!

වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම ඒ ආකාරයෙන් ම බෙදා ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<