ඉන්දියාව පරදා නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරයින් ලෙස අභිෂේක ලබයි

2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය

244
New Zealand Cricket
@Getty Images

පළමු වරට සංවිධානය කරන ලද 2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ අවසන් මහා තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කළ ප්‍රබල නවසීලන්තය සිය ක්‍රිකට් ඉතිහාසය තුළ ජයග්‍රහණය කළ දෙවැනි ලෝක ක්‍රිකට් කිරුළේ උණුසුම විඳ ගැනීමට අද (23) සමත් වුනා. ඒ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දියාව පරාජයට පත් කරමිනි. 

පසුගිය 18 වැනිදා එංගලන්තයේ Southampton හි The Rose Bowl ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා. සාමාන්‍ය ටෙස්ට් තරගයක් දින 5කට පමණක් සීමා වන නමුත් මෙම තරගය අවශ්‍ය වුවහොත් දින 6ක් දක්වා රැගෙන යන බව ICCය තරගය ආරම්භ වීමට පෙරම පවසා සිටියා. 

තරගය සඳහා විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර සමහර දිනවල දී වර්ෂාව නිසා තරගය නවතා දමා තිබුණු කාලය, තරගය ක්‍රීඩා කළ කාලයට වඩා වැඩි වුනා. කෙසේ නමුත් මේ අභියෝග සහ බාධක සියල්ල මැඩ ගනිමින් සිය දක්ෂතාවය සහ වාසනාව විශ්වාස කළ නවසීලන්ත ක්‍රීඩකයින් තරගයේ අවසන් දිනයේ අවසන් මොහොත දක්වා සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මෙම සුපිරි ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව හිමි වුනා. 

නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 217ක් රැස්කර ගත් අතර Ajinkya Rahane සහ Virat Kohli යන දෙදෙනා හැරෙන්නට අනෙක් එකඳු පිතිකරුවෙකු හට හෝ ලකුණු 40 සීමාව අභිබවා යාමට  Kyle Jamieson ඇතුළු නවසීලන්ත වේගපන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. 

එම ලකුණු ප්‍රමාණයට පිළිතුරු දුන් නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 249ක් රැස්කර ගත් අතර නවසීලන්ත නවක පිතිකරු Devon Conway නැවත වතාවක් සිය දස්කම් විදහා දක්වමින් පන්දු 153ක් තුළ ලකුණු 54ක් රැස්කර ගත්තේ හතරේ පහර 6ක් එල්ල කරමිනි. 

නායක Kane Williamson ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනංවමින් ලකුණු 49ක් නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් එක්කළ අතර අවසානයේ දී ඔවුන් ඉන්දීය පළමු ඉනිම අභිබවා යමින් ලකුණු 32ක වැඩි වාසියක් දිනා ගැනීමට සමත් වුනා. 

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shami දක්ෂ ලෙස පන්දු යවමින් නවසීලන්ත ක්‍රීඩකයින් වෙත එල්ල කළ අභියෝගයේ ප්‍රතිඵලයක් ලෙස කඩුලු 4ක් දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ වැඩි බලාපොරොත්තුවෙන් යුතුව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමට කඩුල්ලේ රැඳී සිටීම අපහසු කරමින් නවසීලන්ත නායක Kane Williamson සිය පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් නිසියාකාරව මෙහෙය වූ අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170කට සීමා වුනා. 

එම ඉනිම වෙනුවෙන් සටන්කාමී පිතිකරණයක නිරත වුනු Rishabh Pant ලකුණු 41ක් රැස්කර ගෙන සිටිය දී දැවී ගියා. පන්දු යැවීමේ දී Tim Southee ඉන්දීය දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවාගෙන නවසීලන්තය වෙනුවෙන් දස්කම් පෙන්නුවා.  

ලකුණු 139ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්තය ඉතාමත් හොඳ සැලසුමකට අනුව සිය ඉලක්කය වෙත ළඟා වුනු අතර ඔවුන්ගේ පළමු කඩුලු දෙක ඉතාමත් ඉක්මනින් බිඳ වැටුණු නමුත් නායක Williamson සහ Ross Taylor ඔවුන් සතුව තිබෙන අත්දැකීම් ද උපයෝගී කරගනිමින් ඉතාමත් ඉවසිලිවන්ත ලෙස සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. 

පළමු ඉනිමේ දී ලකුණු 49කට දැවී ගිය Williamson දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 52ක් රැස්කර ගත් අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 33 වැනි ටෙස්ට් අර්ධ ශතකය වුනා. ඔහුට සවියක් වුනු Ross Taylor නොදැවී ලකුණු 47*ක් රැස්කර ගත් අතර ඒ සියල්ල නිමාවට පත්වුනේ ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනා ගත් කණ්ඩායම නවසීලන්තය බවට පත්කරමිනි. 

තරගයේ ලකුණු සාරාංශය,

ඉන්දීය පළමු ඉනිම – 217 (92.1): Ajinkya Rahane 49, Virat Kohli 44, Kyle Jamieson 5/31, Neil Wagner 2/40, Trent Boult 2/47. 

නවසීලන්ත පළමු ඉනිම – 249 (99.2): Devon Conway 54, Kane Williamson 49, Mohammed Shami 4/76, Ishant Sharma 3/48. 

ඉන්දීය දෙවන ඉනිම – 170 (73): Rishabh Pant 41, Rohit Sharma 30, Tim Southee 4/48, Trent Boult 3/39, Kyle Jamieson 2/30. 

නවසීලන්ත දෙවන ඉනිම – 140/2 (45.5): Kane Williamson 52*, Ross Taylor 47*, Ravichandran Ashwin 2/17.

තරගයේ වීරයා – Kyle Jamieson (නවසීලන්තය) 

මේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ජයග්‍රහණය කළ දෙවන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර ඔවුන් මීට පෙර 2000 වසරේ දී පැවැත්වුණු ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සමත් වුනා. එහි දී ද ඔවුන් හමුවේ පරාජය වුනේ ඉන්දීය කණ්ඩායම වීම සුවිශේෂී වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<