යුපුන්ගේ ඉදිරි ගමනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහයක්

187
SLC Announced Donation of One Million for Yupun Abeykoon

ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක පරිත්‍යාගයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව පසුගිය දා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රෝහල් කිහිපයක් ඇතුළු තවත් කටයුතු කිහිපයකට මුදල් පරිත්‍යාග කිරීමක් පසුගිය දා සිදු කෙරුණු අතර එහි දී මෙය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව යුපුන් අබේකෝන් හට වසර දෙකක කාලයකට මෙම මුදල ලැබෙනු ඇති අතර ඔහුට වසරකට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමි වීමට නියමිතයි.

වසර ගණනාවක් ඉතාලියේ වාසය කරමින් පුහුණුවීම් කටයුතු සිදු කරන යුපුන් අබේකෝන් පසුගිය කාල සීමාවේ දී කෙටිදුර ධාවනයෙන් සුවිශේෂී වාර්තා පිහිටුවමින් 2020 ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද සමත් වුනා.

ඉන්පසුව පැවති තරගවල දී ද සුවිශේෂී දස්කම් දැක්වූ ඔහු පසුගිය දා ස්විස්ටර්ලන්තයේ පැවති තරගාවලියකට සහභාගී වෙමින් මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක සුවිශේෂී කාලයකින් අවසන් කිරීමට සමත් වුනා.

ඒ සමඟ යුපුන් මීටර් 100 ඉසව්වක් තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වූ අතර ඔහුගේ කාලය ආසියානු ක්‍රීඩකයෙකු වාර්තා කළ සිව්වැනි හොඳම කාලය ලෙස සටහන් වීම ද විශේෂත්වයක්.

එම මුදල් පරිත්‍යාග කිරීම් සිදු කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට ද රු. මිලියන 22.5ක මුදලක් පරිත්‍යාග කළා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<