මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ශූරතාව ජය ගන්නට හැකිවෙයි ද?

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු..

TPBC 2016 – සාරාංශයක්

ආසියානු ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පසුගිය වසරේ දී තරගාවලිය සඳහා එක්වුණේ A කාණ්ඩයෙනි. එහි දී පළමු වටයේ දී ඔවුන් තම කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ අතර එහි දී ඔවුන් තරග වැදුණේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමඟයි. එම තරගය ලකුණු 61-69ක් වශයෙන් ඔවුන් ලකුණු 8කින් පරාජයට පත්වූ අතර ඒත් සමඟින් පසුගිය වසරේ තරගාවලියේ ඔවුන්ගේ ගමන්මග අවසන් විය.

වැදගත් ක්‍රීඩිකයින්

ආර්නෝල්ඩ් බ්‍රෙන්ට්

මෙම වසරේ තරගාවලියේ දී ආසියානු ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට නායකත්වය ලබාදෙන ආර්නෝල්ඩ් බ්‍රෙන්ට් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. ඔහු 5×5 සහ 3×3 යන තරග අංශ දෙකේම ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අතර මෙම තරගාවලියේ දී ඔහු සතුව ඇති ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. තරගය පුරාවට අවධානය රඳවා ගනිමින් විවිධ අවස්ථාවන්ට අනුකූලව හැඩගැසීමට ඔහු සුවිශේෂී දක්ෂතාවයක් පෙන්නුම් කරයි. කෙසේ නමුත් මෙවර තරගවාරය සඳහා තරුණ කණ්ඩායමකින් ක්‍රීඩා කිරීම නිසා බ්‍රෙන්ට් හට තම කණ්ඩායම මෙහෙයවීම විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමානය.

කණ්ඩායම

ආසියානු ජාත්‍යන්තර පාසල 2015 වසරේ ශූරතාවය දිනාගත් නමුත් ඔවුන්ට පසුගිය වසරේ තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. එමනිසා ඔවුන්ගේ සුපුරුදු ස්ථානය නැවතත් ලබාගැනීමේ අරමුණින් ඔවුන් දැඩි කැපවීමකින් සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටී. කෙසේ නමුත් මෙවර තරගාවලිය සඳහා ඔවුන්ට තහීර් අක්බරලි සහ ධමිෂ්ක පියසේන යන ක්‍රීඩකයින්ගේ දායකත්වය ලැබෙන්නේ නැත.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති බ්‍රේන්ට්ගේ අත්දැකීම් සහ ඔහුගේ ක්‍රීඩා විලාශය මත කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය රඳා පවතී. කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් ඔහු වටා එක්වෙමින් ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දීමේ සූදානමින් පසුවෙයි. බ්රෙන්ට්ට අමතරව අබ්දුල් සහ ජොයෙල් යන ක්‍රීඩකයින් ද ඔවුන්ගේ දක්‍ෂතා නිසා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුකර ගැනීමට සමත්ව ඇත. ඒ අනුව ඔවුන් හට අහිමි වූ ක්‍රීඩකයින්ගේ හිස්තැන පිරවීමේ හැකියාව ඔවුන් සතුව පවතී. කණ්ඩායමේ ක්‍රීඩකයින් සතුව පවතින වේගය මෙම කණ්ඩායමේ ශක්තිය වන අතර ක්‍රීඩකයින්ගේ ප්‍රමාණයෙන් ඔවුන්ට ඇති අවාසිය මැඩපවත්වා ගැනීමට ද  ඉවහල් වනු ඇත.

පසුගිය වසරේ දී ඔවුන් ලබාගත් ප්‍රතිඵලයෙන් ඔබ්බට යමින් මෙවර තරගාවලියේ දී හොඳම කණ්ඩායම් 3 අතරට හෝ තේරීපත්වීමේ අරමුණින් ආසියානු ජාත්‍යන්තර පාසල් කණ්ඩායම තරගාවලියට පිවිසෙයි. වයස අවුරුදු 19න් පහළ තරග අංශයේ තවත් අවුරුදු 2ක කාලයක් ක්‍රීඩා කළ හැකි තරුණ කණ්ඩායමකින් ක්‍රීඩා කරන නිසා එම ඉලක්කය කරා ළඟාවීමට ඔවුන්ට හැකිවුවහොත් එය විශාල ජයග්‍රහණයක් වනු ඇත.

මෙම මාසයේ අවසානය දක්වා ආසියානු ජාත්‍යන්තර පාසලට ග්‍රීෂ්ම සෘතු නිවාඩුව හිමිව ඇති බැවින් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සතිය පුරාවට සිදුකරගෙන යාමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇති අතර එය මෙම තරගාවලිය සඳහා දක්ෂතාවන් වර්ධනය කරගැනීමට ඔවුන්ට ලැබුණු හොඳ අවස්ථාවකි. මේ දක්වා ඔවුන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඔවුන්ගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා උපාය මාර්ග වැඩි දියුණු කරගැනීම සඳහා ය.

නායක ආර්නෝල්ඩ් බ්‍රෙන්ට්,

“අවාසනාවකට වගේ ආබාධයක් නිසා මට පසුගිය වසරේ තරගාවලියට ක්‍රීඩා කරන්න බැරි වුනා. නමුත් මෙවර තරගාවලිය සඳහා අපි හොඳ කැපවීමකින් සූදානම් වුනා. මේක මට පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබෙන අවසන් තරග වාරය. ඒ නිසා මෙම තරගාවලියේ දී මට හැකි උපරිමයෙන් ක්‍රීඩා කරලා මගේ පාසල, පුහුණුකරු සහ මම වෙනුවෙන් ජයග්‍රහණයක් ලබා ගන්න මට අවශ්‍ය යි.”     

ප්‍රධාන පුහුණුකරු අජිත් කුරුප්පු,

“අවම වශයෙන් තවත් අවුරුදු 2ක් වත් ක්‍රීඩා කරන්න පුළුවන් ඉතා තරුණ කණ්ඩායමක් අපට මෙවර සිටින්නේ. අපේ බලාපොරොත්තුව අවම වශයෙන් මෙවර තරගාවලියේ හොඳම කණ්ඩායම් 3 අතරට එන එක. මෙවර කණ්ඩායම අත්දැකීම් අඩු, තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන නිසා මම හිතනවා ඒක අපිට ලොකු ජයග්‍රහණයක් වෙයි කියලා.”   

සංචිතය

ආර්නෝල්ඩ් බ්‍රෙන්ට් (නායක), ජොයෙල් පෙරේරා, සබේෂ් සතියනාතන්, ශලින් අබ්බාස්, අබ්දුල් රහ්මාන්, ඩැනියල් ඩේවිඩ්, ක්‍රිස් ක්‍රිස්ටී, ඉමාද් අමනුල්ලා, විධාන් චාන්ද්, අෂර්, රස්කීනියෝ, ශරහබීල් අහමද්

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<