මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

ThePapare පැසිපන්දු අභියෝගයට එන වත්තල ලයිසියම් බල ඇණිය

පාසල් පැසිපන්දු පිටියේ විශිෂ්ටයන් සොයන “ThePapare පැසිපන්දු ශූරතාවලිය (TPBC)”, නොකඩවා දෙවන වරටත්..

TPBC 2016 – සාරාංශයක්

පසුගිය වසරේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරග වැදුණේ D කාණ්ඩයෙණි. 2016 වසර පුරාවට දස්කම් දැක්වූ ඔවුන් සමස්ත ලංකා අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා සුදුසුකම් ලැබුවත්, ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලියේ ඔවුන්ගේ ගමන්මග අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසන් විය. ඒ ඔවුන් එහි දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ පරාජය වීමත් සමඟයි.  

වැදගත් ක්‍රීඩකයින්

රෂාන් පෙරේරා

Key-Player-01---Rashanවත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ නායකත්වය දරන රෂාන් පෙරේරා ක්‍රීඩා කරන්නේ ‘Center’ ස්ථානයේ ය. ඔහු මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් සංචාර දෙකකට සහභාගී වී ඇත. ඒ අනුව ඔහු පසුගිය දා අවසන් වූ 3×3 ආසියානු ශූරතාවලිය සඳහා සහ පසුගිය වසරේ දී වයස අවුරුදු 18න් පහළ ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් තරග සංචාරයකට සහභාගී වී ඇත.

ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් මඟහැරුණු විට නැවතත් පන්දුව ලබා ගනිමින් තම කණ්ඩායමට තවත් අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ඔහු දක්වන දක්ෂතාවය තරගාවලියේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට අතිශය ප්‍රයෝජනවත් වනු ඇත. ඒ හරහා ලකුණු ලබා ගනිමින් සහ ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට ඇති අවස්ථාවන් අවම කරමින් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමේ හැකියාව පවතී.

නිමේෂ් කුලතුංග    

Key-Player-02---Nimeshනිමේෂ් කුලතුංග ද වයස අවුරුදු 18න් පහළ යොවුන් කණ්ඩායම සහභාගී වූ විදෙස් සංචාරය සඳහා රෂාන් පෙරේරා සමඟින් සහභාගී විය. ඊට අමතරව ඔහු ‘3×3 FIBA Fast Track’ වැඩසටහනේ ද සාමාජිකයෙකි. ඔහු ‘Point Guard’ ස්ථානයේ ක්‍රීඩා කරන අතර එහි දී තරගය මෙහෙයවීමට සහ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් ද ලකුණු ලබා ගැනීමේ කාර්යය කරා යොමු කරමින් ක්‍රීඩා කිරීමට ඔහු දක්වන දක්‍ෂතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට මෙම තරගාවලිය පුරාවට වැදගත් වනු ඇත. එමෙන්ම ඔහු පිටිය තුළ වේගයෙන් කටයුතු කිරීමට දක්වන දක්‍ෂතාවය ද කණ්ඩායමේ ක්‍රීඩා විලාශයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

කණ්ඩායම

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම සමස්තයක් ලෙස ගත් කළ ප්‍රහාරාත්මක මෙන්ම ආරක්ෂාකාරී අංශයෙන් ද ඉතා සමබර කණ්ඩායමක් ලෙස හඳුන්වා දිය හැක. එමෙන්ම ඔවුන් මුහුණ දෙන ප්‍රතිවාදී කණ්ඩායම අනුව ඔවුන්ගේ ක්‍රීඩා විලාශය හැඩගස්වා ගැනීමේ හැකියාව ද ඔවුන් සතුව පවතී. ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්ෂාකාරී ක්‍රීඩකයින් අභිබවා යමින් ලකුණු රැස්කර ගැනීමට ඔවුන් වැඩි රුචියක් දක්වන නමුත් ඔවුන්ට දුර සිට ලකුණු ලබා ගැනීමේ හැකියාව ද ඇත. එමෙන්ම කණ්ඩායම තුළ අඩි 6ට වඩා උස ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ක්‍රීඩා කිරීම නිසා ඔවුන්ට එම වාසිය ද හිමිව ඇත. තවදුරටත් අවශ්‍යම අවස්ථාවක හැරුණු කොට ඔවුන් ක්‍රීඩකයින් ආදේශ කිරීම කරා එතරම් යොමු නොවන අතර කණ්ඩායම තුළ සිටින වැදගත් ක්‍රීඩකයින්ගෙන් තරගය පුරාවට උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරයි.

පසුගිය වසරේ දී අර්ධ අවසන් පූර්ව වටයෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ නිසා ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ඉහළ නැංවීමට ඔවුන් කටයුතු කර ඇත. ඔවුන් සතියකට දවස් 6ක්, උදෑසන මෙන්ම සවස් වරුවේත් පුහුණුවීම් කටයුතු සිදු කරන අතර ඔවුන් එහි දී වැඩි අවධානයක් යොමු කරන්නේ ක්‍රීඩකයින්ගේ ජවය ඉහළ නැංවීම කෙරෙහි ය. ඒ අනුව කණ්ඩායම තුළ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයින් ද ක්‍රීඩා කරන නිසා මෙම වසරේ දී ඔවුන් පසුගිය වසරට වඩා ශක්තිමත් කණ්ඩායමක් ලෙස හඳුන්වා දිය හැක.

නායක රෂාන් පෙරේරා,

“අපි මෙම වසරේ තරගාවලිය සඳහා ගොඩක් පුහුණුවීම් කටයුතු සිදු කළා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම වසරේ දී පසුගිය වසරට වඩා හොඳින් ක්‍රීඩා කරලා අවසානය දක්වාම යන්න. ඒ වගේම මට විශ්වාසයි අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළොත් තරගාවලිය ජය ගන්න අපිට ශක්තිය තියෙනවා කියලා.”

ප්‍රධාන පුහුණුකරු නේරියස් ස්ටැන්ලි,

“අපි පුහුණුවීම් කටයුතු කරපු විදිහට අපිට අනිවාර්යයෙන්ම මෙම වසරේ දී තරගාවලිය ජය ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඒක කරන්න බැරි වුනොත් ඒක ඒ දවසේ අපේ අවාසනාව. මොකද කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කරපු ආකාරයෙන් ඔවුන්ට 19න් පහළ ශූරයින් වෙන්න දක්ෂතාවය තියෙනවා.”

සංචිතය

රශාන් පෙරේරා (නායක), නස්ලි අහ්මත්, නිමේෂ් කුලතුංග, සොනාල් වර්ණකුලසූරිය, ප්‍රනිල් පෙරේරා, තුවාන් රීඩ්, යසිත් ජයසුන්දර, විකාශ් නානායක්කාර, ඉවැන්ජලෝ ස්ටෙෆාන්, නිදුල් දේවප්‍රිය, රදීෂ් ද මෙල්, ලුඩොවිකො වෙදිත්ය, සවුෂ් විදානපතිරණ, ටෙනුඑල් තිසේරා, යෙසිත ද සිල්වා, තුවින් කවිතාරච්චි, ජෙවිෂ මිරංඩෝ, ශෙනොන් සිල්වාථ අමන්දික කොස්තා

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<