ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාවට ලොකු ඩොලර් මල්ලක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

473

ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත්, තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ  සේවකයින් වෙනුවෙන් වන රක්ෂණාවරණ ආයතනය ඒ සඳහා එකඟත්වය පළ නොකිරීම,  මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණාත්මක සාධකය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය.

‌ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම සම්බන්ධව අද (03) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ලේකම්වරයා ඉහත අදහස් පළ කර සිටියේය. මෙම මාධ්‍ය හමුව සඳහා වන ප්‍රධාන මේසයේ දී ලේකම් මොහාන් මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා ද අසුන්ගෙන සිටියේය.

“අපි සෑහෙන්න උත්සාහ කළා මේ තරගාවලිය ලංකාවේ පවත්වන්න. නමුත් ඔවුන් එක්ක ඝට්ටනයකට යන්න උවමනා වුනේ නෑ. බොහොම සුහදතාවයෙන් අපි කටයුතු කළේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ සභාපති ශම්මි සිල්වා මහතා. ඔහුගේ උත්සාහය. අනිත් අයව උනන්දු කරවලා තරගාවලිය ලංකාවේ පවත්වන්න ඔහු සෑහෙන්න උත්සාහයක් ගත්තා. නමුත් විකාශන අයිතිය හිමි රූපවාහිනි ආයතනයේ  කාර්යය මණ්ඩලය රක්ෂණය කර තිබෙන රක්ෂණාවරණ ආයතනය කැමති වුනේ නෑ ඔවුන්ට ඒ රක්ෂණාවරණය ලබා දෙන්න. ඒක තමයි තීරණාත්මක සාධකය වුනේ”, යැයි මොහාන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

යම් ලෙසකින් ජූලි මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකියාව තිබුණේ නම් එය මෙම තරගාවලියට ධනාත්මක ආකල්පයක් එක් කරවීමට හේතු කාරණාවක් වීමට ඉඩ තිබූ බවත් සඳහන් කර සිටි ක්‍රිකට් ලේකම්වරයා, එය කල් දැමීමට සිදුවීම ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම පසුබෑම බවයි.

ආසියානු කුසලාන තරගාවලියට පෙර ජූලි සහ අගෝස්තු මාසවල දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි. ‌මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වූයේ නම් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් විශාල පිරිසක් ‌එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඒ හරහා ශ්‍රී ලංකාව ආරක්ෂිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයට, සෙසු සාමාජික රටවල් මෙන්ම විකාශන ආයතනයට ඒත්තු ගැන්වීමට හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව තිබූ බව ද මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය.

ප්‍රධානම පසුබැසීම තමයි LPL තරගාවලිය කල්දාපු එක. අපිට ඒ තරගාවලිය පවත්වා ගෙන යන්න පුළුවන් වුනා නම් මං හිතන්නේ නෑ මෙච්චර ප්‍රශ්නයක් පැන නගියි කියලා. නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මුදල් ලබා ගන්නේ මේ වගේ තරගාවලියකින්. අවුරුදු 3කින් විතර මේ තරගාවලිය පවත්වලා තිබුණේ නැති නිසා එයාලටත් මුදල් අවශ්‍යයි. නමුත් එයාලා උත්සාහ කළා මේ තරගාවලිය ලබා දෙන්න. ඒත් මේ ආකාරයේ ලොකු තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන කොට එහි අවදානම ගැන බොහෝ සාමාජික රටවල අවධානය යොමු වුනා. තරගාවලිය අතරතුර දී යම් විදියකින් මොකක් හරි අකරතැබ්බයක් වුනොත් එහෙම ඔවුන් අපිට දොස් කියාවි. එහෙම වුනොත් ඒ රටවලටත් විශාල මුදල් අලාභයකට මුහුණ දීමට සිදු වෙනවා,” යැයි ද ලේකම්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය.

කෙසේ වෙතත් අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට හිමි වීම සතුටට කරුණක් බව ද ලේකම්වරයා මෙහි දී සඳහන් කර සිටියේය.

ඇත්තටම මේ තරගාවලිය ලංකාවේ පැවැත්වුවා නම් අපිට තරගාවලිය පැවැත්වීමේ ගාස්තුව හැටියට ඩොලර් මිලියන දෙකහමාරක් එයාලා ලබා දෙනවා. ඒ වගේම තරගාවලියේ ලාභයෙන් ලැබෙන කොටස අඩුම ගානේ මිලියන දෙකහමාරත් තුනත් අතර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම නිසා එයාලා අපිට ඩොලර් මිලියන දෙකහමාරක් සම්පූර්ණයෙන්ම දෙනවා. ඊට අමතරව ටිකට් සල්ලි වලින් තව ඩොලර් මිලියන එකහමාරක් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඊටත් අමතරව තරගාවලියේ ආදායමේ කොටසෙන් තවත් ඩොලර් මිලියන 2.5ත් 3ත් අතර මුදලක් අපිට ලැබෙනවා. ඒ අනුව සම්පූර්ණ ආදායම විදියට ඩොලර් මිලියන 6.5ක් විතර අපි මේ තරගාවලියේ දී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා”, යැයි මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

‌මෙවන් මුදලක් ශ්‍රී ලංකාවට හිමි වුවද තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වීම විශාල පාඩුවක් බව ද ලේකම් වරයා සඳහන් කර සිටියේය.

“මෙවැනි අවස්ථාවක මෙවැනි තරගාවලියක් පවත්වලා ප්‍රේක්ෂකයින් පිට රටවලින් ගෙනාවා නම් ලංකාවට ලැබෙන ප්‍රසිද්ධියයි, මූල්‍යමය වශයෙන් ලැබෙන ප්‍රතිලාභයි හුඟක් වැඩියි. ජනාධිපතිතුමා වගේම ක්‍රීඩා ඇමතිතුමාත් ගොඩක් මහන්සි වුනා මේ තරගාවලිය ලංකාවට ගන්න. ක්‍රීඩා ඇමතිතුමා නිරන්තරයෙන්ම අපිව දිරිමත් කළා කොහොම හරි තරගාවලිය ලංකාවට ලබා ගන්න කියලා”, කියලා යැයි සඳහන් කළ මොහාන් ද සිල්වා මහතා, ඇත්තටම සමහර රටවල් අපි ගැන බොහොම අනුකම්පාවකුත් තිබුණා. නමුත් මූල්‍යමය වශයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මුදල් අවශ්‍යයි. බැරි වෙලාවත් මේක පවත්වලා මෙහේ මොකක් හරි වුනා නම් ඉදිරි අවුරුදු 2-3ට ලොකු බලපෑමක් වෙන්න තිබුණා. ඒ නිසා තමයි එයාලා තීරණය කළේ. කොහොම වුනත් අපිට තරගාවලිය පැවැත්වීමේ අයිතිය ලබා දීමත් ලොකු වරප්‍රසාදයක්. ඒක හින්දා තමයි මෙච්චර මුදලක් අපිට ලැබෙන්නේ. නැත්නම් අපිට ලැබෙන්නේ ලාභයේ බෙදීම විතරයි. මිලියන දෙකක් දෙකහමාරක් විතරයි. ඒ අතින් බැලුවහම මේ රටට ඩොලර්ස් එනවා මිලියන හයහමාරක් විතර. ඒ වරප්‍රසාදය අපිට තියෙනවා”, යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඇත්තටම බැලුවොත් ඔව්. අපිට තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදා වුනා නම් රට ගැන ලෝකයට යන පණිවිඩය ඉතා විශාලයි. ඒ වගේම තරගාවලිය නැරඹීම සඳහා විදෙස් රටවල ප්‍රේක්ෂකයින් පැමිණීම හරහා එය රටට ආර්ථික වශයෙන් වාසියක් වෙන්න තිබුණා”, යි අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා යම් ලෙසකින් ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ දී කිසියම් හේතුවක් නිසා එය අවලංගු කිරීමට සිදු වුවහොත් එය ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිවිපාක ගෙන දීමට ද ඉඩ තිබූ බව ද අවධාරණය කර සිටියේය.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<