වීරයන් මුණගැසෙන සුපිරි වටයේ ජය කාටද?

344

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර මීළඟට සුපිරි වටයේ තරග ආරම්භ වීමට නියමිතයි.

මෙම සුපිරි වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනු ඇති අතර එහි දී ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ලබාගත් කණ්ඩායම් 4 කුසලානය (Cup Championship) සඳහා තරග කරන අතර අවසන් ස්ථාන 4 ලබාගත් කණ්ඩායම් 4 පලඟ ශූරතාවය (Plate Championship) සඳහා තරග කරයි.

මෙවර තරගාවලියේ පළමු වටය නිමා වන විට මුල් ස්ථාන 4 ලබාගෙන සිටි කණ්ඩායම්වල වෙනසක් දෙවන වටය අවසානයේ දක්නට ලැබෙන අතර පළමු වටයේ යම් පසුබෑමකට ලක්වී සිටි කණ්ඩායම් දෙවන වටයේ දී දක්ෂ ලෙස තරගාවලියට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුණි.

සුපිරි සති අන්තයකට ඔබ සූදානම් ද?

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග මෙම සති අන්තයේදී (23,24) ආරම්භ කිරීමට සියලු කටයුතු =…

දෙවන වටයට අදාළ තරග පසුගිය දා නිමා වූ අතර අවසන් ලකුණු සටහනට අනුව හැව්ලොක් කණ්ඩායම පෙරමුණ ගෙන ඇති අතර පසුගිය තරගාවලි වල ශූරයන් වූ මහනුවර කණ්ඩායමට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වී තිබුණි. මෙවර තරගාවලියේ දෙවන වටයේ සියලු තරග අපරාජිතව නිමා කළ CH&FC කණ්ඩායම තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. සිව්වැනි ස්ථානය CR&FC කණ්ඩායමට හිමිවී ඇත.

සුපිරි වටයේ තරග කාලසටහන අනුව හැව්ලොක් කණ්ඩායම CR&FC කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිත අතර මහනුවර කණ්ඩායම CH&FC කණ්ඩායම මුණගැසෙනු ඇත.

ThePapare.com ඔබ වෙත ගෙන එන මේ ලිපිය මෙවර තරගාවලිය දෙස නැවත හැරී බැලීමකි.

ශූරයාට අභියෝග කළ හැව්ලොක්

පසුගිය වසරවල තරගාවලි කීපයක දී ම අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට හැව්ලොක් කණ්ඩායමට සිදු වූයේ මහනුවර අපරාජිතව තරගාවලි නිමා කිරීම නිසාවෙනි. මෙවර හැව්ලොක් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිරෝශන් ප්‍රනාන්දු හට හිමිවී තිබූ අතර අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයන් ලෙස මිතුන් හපුගොඩ, රීසා මුබාරක්, දුශ්මන්ත ප්‍රියදර්ශන කණ්ඩායමට එකතු වී සිටියේ නවක ක්‍රීඩකයෝ රැසක් ද ඉදිරිපෙළ ශක්තිමත් කරමිනි.

තරගාවලියේ මුල් තරග 5ම අපරාජිතව සිටීමට සමත්වූ හැව්ලොක් කණ්ඩායමේ ජයග්‍රාහී ගමනට තිත තැබීමට මහනුවර කණ්ඩායම සමත් වූයේ ලකුණු 31-21ක් ලෙසිනි. පළමු වටයේ තරගවල දී පළමු අර්ධය ‍යම් පසුබෑමකට ලක්ව ක්‍රීඩා කළ ද දෙවන අර්ධයේ දී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වී ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

පළමු අර්ධයේ දී හැව්ලොක් කණ්ඩායම යුද හමුදාව (23-12), CH&FC (30-29), නාවිකයන් (22-18), පොලිස් (31-26), CR&FC (22-31), ගුවන් හමුදාව (31-25) පරාජය කළ අතර මහනුවර කණ්ඩායම හමුවේ පමණක් (31-21) ලෙස පරාජය විය.

දෙවන අර්ධය ආරම්භයේ දී හැව්ලොක් කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් යුද හමුදාව ලකුණු 50-31ක් ලෙස පරාජය කළ අතර මීළඟ තරග කිහිපයක්ම අපරාජිතව සිටීමට සමත් විය. මහනුවර කණ්ඩායම CH&FC කණ්ඩායම පරාජය කිරීමත් සමඟම ලකුණු සටහනේ  පෙරමුණ ගත් හැව්ලොක් කණ්ඩායම මීළඟ තරගයේ දී CH&FC කණ්ඩායම හමුවේ පරාජය වීම නිසා නැවතත් දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදු විය. මහනුවර කණ්ඩායම සමඟ පැවති තරගය (28-26) ජයග්‍රහණය කළ හැව්ලොක් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් දෙවන වටය නිමා කළේය.

කුසලාන තරග වටයේ දී හැව්ලොක් කණ්ඩායම CR&FC කණ්ඩායම මුණ ගැසීමට නියමිත අතර එය 23 වැනිදා කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙවර තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම CR කණ්ඩායම පළමු වටයේ දී 22-31ක් ලෙසත් දෙවන වටයේ දී 31-24ක් ලෙසත් පරාජය කළ අතර මෙම තරගය ද ජයග්‍රහණය කිරීමේ දැඩි බලාපොරොත්තුවකින් ක්‍රීඩා කරනු ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CR&FC ක්‍රීඩා සමාජය අතර තරගය පෙබරවාරි 23 වන දින කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

විදේශීය විනිසුරුවරයෙකු නැවත දිවයිනට

මෙවර ඩයලොග් රග්බි ලීගයේ අවසන් තරග කිහිපය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීම…


ශූරතාවය රැකගැනීමට සූදානමින් – මහනුවර

මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගාවලියට පිවිසෙන විට තරග 25ක් නොකඩවා අපරාජිතව සිටි අතට පසුගිය වසර කීපයේ දී ම ශූරතාවය නිත්තවෙල තබා ගැනීමට සමත් වූයේ අනෙක් කණ්ඩායම් සියල්ලටම අභියෝගයක් වෙමිනි.

මෙවර කණ්ඩායම මෙහෙය වීමේ වගකීම රිචඩ් ධර්මපාලට හිමි වූ අතර කණ්ඩායම ශක්තිමත් කිරීමට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක්ම එක්ව සිටියහ. රොශාන් වීරරත්න, නයිජල් රත්වත්තේ, ධනුෂ්ක රන්ජන්, ශෙහාන් පතිරණ, තිළිණ විජේසිංහ, බුවනෙක උඩන්ගමුව, අනුරුද්ධ විල්වර වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ මහනුවර කණ්ඩායම පළමු වටය අපරාජිතව නිමා කළේ මෙවරත් ශූරතාවය තමන් සතු බව අගවමිනි.

පළමු වටයේ දී ඔවුන් ගුවන් හමුදාව (19-28), CR&FC (41-30), පොලිස් (32-23), යුද හමුදාව (10-38), නාවික හමුදාව (19-22), CH&FC (38-22), හැව්ලොක් (31-21) ලෙස පරාජය කළ අතර දෙවන වටයේ මුල් තරග දෙක ද අපරාජිතව සිටියේ මෙතෙක් තරගාවලියේ එක් කණ්ඩායමක් විසින් වාර්තා කළ වැඩිම ලකුණු ගණන (63 – නාවික හමුදාවට එරෙහිව) වාර්තා කරමිනි.

ඔවුන්ගේ තරග 33ක අපරාජිත වාර්තාවට තිත තැබීමට යුද හමුදාව සමත් වූයේ දෙවන වටයේ තරගයේ දී ලකුණු 23-22ක් ලෙසිනි. දෙවන වටයේ දී නැවතත් අසාර්ථක වූ මහනුවර කණ්ඩායම CH&FC හමුවේ ලකුණු 33-17ක් ලෙස පරාජය වූ අතර වසර ගණනාවකට පසු ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා පසුබැසීමට ද සිදු විය. තරගාවලියේ අවසන් තරගයේ දී හැව්ලොක් කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් අත්විඳි මහනුවරට තරගාවලිය නිමා කිරීමට සිදු වූයේ දෙවැනියා ලෙසිනි.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් තිළිණ විජේසිංහ, ධනුෂ්ක රන්ජන්, බුවනෙක උඩන්ගමුව, අනුරුද්ධ විල්වර කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර සුපිරි වටයේ දී නැවතත් ඔවුන් සුපුරුදු රිද්මයට පැමිණ ජයග්‍රාහී ලෙස තරගාවලිය නිමා කරනු ඇතැයි මහනුවර ප්‍රේක්ෂකයන්ගේ එකම බලාපොරොත්තු වී හමාරය.

මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයේ දී CH&FC කණ්ඩායම ලකුණු 38-22ක් ලෙස පරාජය කළ ද එහි වාඩුව දෙවන වටයේ දී පියවා ගැනීමට CH සමත් වූයේ ලකුණු 17-33ක් ලෙස මහනුවර පරාජය කරමිනි.

මහනුවර ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය අතර තරගය පෙබරවාරි 24 වන දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.


දෙවන වටය අපරාජිතව නිමා කළ CH&FC

CH කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වටය එතරම් සුබදායක නොවූ අතර මුල් තරග 5න් ඔවුන් ජයග්‍රහණය කළේ එක් තරග‍යක් පමණි. එම වටයේ දී ඔවුන් ගුවන් හමුදාව (26-18) පමණක් පරාජය කළ අතර CR&FC (24-23), හැව්ලොක් (30-29), යුද හමුදාව (24-18), මහනුවර (38-22), නාවික හමුදා (26-34) කණ්ඩායම් හමුවේ පරාජය විය.

දෙවන වටයේ තරග සියල්ලම අපරාජිත වූ CH කණ්ඩායම තරගාවලියේ තෙවැනියා වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. යෝශිත රාජපක්ෂ විසින් මෙහෙය වූ කණ්ඩායම රෝහිත රාජපක්ෂ වෙත පැවරුණේ යෝශිතගේ ඉවත් වීමත් සමඟිනි.

කණ්ඩායම ශක්තිමත් කිරීමේ වගකීම සැමුවෙල් මදුවන්ත, සුදම් සූරියආරච්චි, ඇඩම් ගවුඩර්, සුදර්ශන මුතුතන්ත්‍රි වැනි ප්‍රබලයන් විසින් සිදු කරන අතර කණ්ඩායමට එක්ව සිටින නවකයින් ද දක්ෂ ලෙස කණ්ඩායමට සිය උපරිම දායකත්වය ලබා දීමට සමත්ව සිටී. මහනුවර හා හැව්ලොක් කණ්ඩායම් දෙවන වටයේ දී පරාජය කළ CH කණ්ඩායම තරගාවලියේ පෙරළිකාරයන් තමන් බව සනාථ කොට හමාරය.

සැමුවෙල් මදුවන්ත මෙතෙක් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන අතර සුදම් සූරියආරච්චි වැඩිම උත්සාහක දිනුම් වාර්තා කල ක්‍රීඩකයන් අතර කැපී පෙනීමට සමත්ව ඇත.

ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස…


අභියෝගයට සූදානමින් – CR&FC

ජය පරාජය සමසමව විදිමින් තරගාවලියේ සිව්වැනි ස්ථානය ලබා ගත් CR&FC කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කවිදු පෙරේරා වෙත පැවරී ඇත. තරගාවලියේ මුල් තරග 5න් 3ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ CR කණ්ඩායම ලකුණු සටහනේ ඉදිරිපෙළ අසුනක් සෑම විටම වෙන්කර ගැනීමට සමත් විය. පළමු වටයේ දී CH&FC (24-23), නාවික හමුදා (22-28), පොලිස් (17-38)ක් ලෙස පරාජය කළ CR කණ්ඩායම  මහනුවර (41-30), හැව්ලොක් (22-31) හමුවේ පරාජය විය.

කණ්ඩායම නවක මෙන්ම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සමඟ මෙවර තරගාවලියට එක්ව සිටින අතර නායකත්වය දරන කවිඳු පෙරේරා තම වගකීම අකුරටම ඉටු කරනු ලබයි. නායකයාට මනා සහයක් වෙමින් උපනායකත්වය දරණ දුලංජන විජේසිංහ කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කරයි. තරින්ද රත්වත්තේ, ගැමුණු චේතිය, ඔමල්ක ගුණරත්න කණ්ඩායමට එක්ව සිටින ප්‍රබලතම ක්‍රීඩකයන් වේ.

ඔමල්ක ගුණරත්න මේ දක්වා උත්සාහක දිනුම් 7ක් වාර්තා කර කණ්ඩායමේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වී ඇති අතර තරින්ද රත්වත්තේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 126ක් එක් කර තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන් අතර 3 වන ස්ථානය ලබාගෙන ඇත.

සුපිරි වටයේ තරග සියල්ලම සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<