”ආදරණීය මැතිව්ස් වෙත ලියා දන්වන වග නම්…”

3736
Image Credit - Cricinfo - Getty images

ආදරණීය මැතිව්ස්,

පළමුවෙන්ම ඔබගේ නායකත්වයේ දෙවන ඉනිමට සුබ පතන්නට කැමැත්තෙමි,

ඔබගේ නව ආරම්භයට සුබ පතන පළමුවැනියා හෝ එකම පුද්ගලයා මම නොවේ. සමාජ ජාලා මාධ්‍ය දෙස බැලූ විට, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ආගාධයෙන් ගොඩ ගන්නට පැමිණි ඉෂ්ට දේවතාවා ඔබ ලෙස පෙන්වා දෙමින් ඔබට සුබ පතන ක්‍රීඩාලෝලීන් හෝ එසේ පෙනී සිටින්නන් දහස් ගණනක් ‘ෆේස් බුක්’ පඳුරකට පයින් ගැසුවත් විසි වන අයුරු දැක ගත හැකිය. ලෝකය කෙතරම් සුන්දර ද? යමෙකුට කුමන හෝ පදවියක්, උසස්වීමක් හෝ තනතුරක් ලබුණු විට සුබ පතන්නට හැකි වීමත් ශිෂ්ට මිනිස් සමාජයක හොඳ පුරුද්දක් බව අප දනිමු.

ඔබේ නායකත්ව ඉනිම දෙක අතර විවේක කාලය අඩ වසරකට ආසන්න ය. එබැවින් ඔබ නායකත්වයට සමු දෙන්නට පෙර සිදු වූ බොහෝ දේ ඔබට අමතක වී නැතැයි මම සිතමි. කෙසේ නමුත් ඉන් සිදුවීම් කිහිපයක් නැවත සිහි ගැන්වීම ද යෙහෙකැ’යි මට සිතේ. ඔබ 2013 වසරේ කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේ ද කණ්ඩායම යම් කිසි ආකාරයක අර්බුදකාරී තත්ත්වයක පැවති සමයකයි. සංගා – මහේල ද්විත්වය නායකත්වයට සමු දී ටී. එම්. ඩිල්ශාන්ගේ නායකත්වය පිළිබඳව ද ක්‍රිකට් බලධාරීන්ගේ නොසතුට පල වෙමින් තිබූ අවධියක (ඔහුට නායකත්වය කටු ඔටුන්නක් වීමට හේතු ද වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි) කණ්ඩායමේ වගකීම භාර ගන්නේ එවකට 26 හැවිරිදි තරුණයකු වූ ඔබය.

එවක පටන් තවමත් අවසන් වී නොමැති, විශ්වාස කළ නොහැකි තරම් දීර්ඝ සංක්‍රාන්ති සමයක කණ්ඩායමේ වගකිව යුත්තා ලෙස ඔබ ඉටු කර තිබෙන්නේ ලේසි පහසු රාජකාරියක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සංක්‍රාන්ති සමය මෙතරම් දිගු වීමට හේතු බොහොමයක් ඔබගේ පාලනයෙන් බැහැර ඒවා වුවත්, ජයග්‍රහණයට ඇති පියවරු සියයක් අතුරින්, කිසිවෙකු නොමැතිව අවජාතක වන පරාජයේ නීත්‍යානුකූල භාරකරු වීමට ඔබට සිදුවූ අවස්ථා ගණන සුළු පටු නැත.

නමුත් මතක තබා ගත යුත්තේ එය නොවේ. ඔබට ලැබුණු පැසසුම් පිළිබඳව ය. 2014 අති සාර්ථක එංගලන්ත තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය ඔබේ නායකත්වයේ අවසන් කාලය වන විට බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහී තිබුණ ද, මට නම් එය අද මෙන් මතකය. ලීඩ්ස් නුවර හෙඩින්ලි ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව පිවිසුණේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය යාන්තමින් ජය පරාජයෙන් තොරව අවසන් කර ගෙනයි. දෙවන තරගයේ සිව්වැනි දිනයේ පැයක් පමණ ගත වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7 ක් දැවී ගොස් තිබුණේ ලකුණු 170කටත් අඩු ලකුණු වාසියක් සටහන්ව තිබිය දී යි. ඒ වන විට ලකුණු 54ක් ලබා සිටි ඔබ තරගයේ වාසිය කණපිට හරවන්නට සමත් වුණේ තමන්ට නොව කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ  කෙලෙස ද යන්න පිළිබඳ පාඩමක් කියා දෙමිනි. එදා ඔබ රංගන හේරත් සමග එක්ව ගොඩ නැගූ ලකුණු 149ක සබඳතාව නොවන්නට තරග ජයග්‍රහණය පිළිබඳ හිතන්නට හෝ ඉඩක් නොලැබෙන්නට තිබුණි.

පස්වැනි දිනයේ අවසන් පැයේ මොයීන් අලී සමඟින් එක්වූ ජේම්ස් ඇන්ඩර්සන් අවසන් පන්දු වාරය දක්වා එංගලන්ත කණ්ඩායම පරාජයට ඇද වැටීම වළක්වන ඇණයක් බවට පත් වෙද්දී ඔබ පන්දු යවන්නන් යොදා ගත් ආකාරය සහ කණ්ඩායම මෙහෙයවූ ආකාරය එවක බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. අවසන් පන්දු වාරයේ 5 වන පන්දුව වන තෙක්ම සටන අත් හැරීමට කණ්ඩායමට ඉඩ නොතැබූ ඔබ එම පන්දු වාරය ක්‍රියාත්මක කළ ශාමින්ද එරංගට කීවේ කුමක් දැයි අපට අසුනේ නැත. නමුත් මා විශ්වාස කරන්නේ පළමු ඉනිමේ දී ඇන්ඩර්සන් දවා ගැනීම සඳහා යැවූ ආකාරයේම පන්දුවක් යවන ලෙස ඔබ එරංගට මතක් කර දුන් බවයි.

එමෙන්ම මහේල ජයවර්ධන තම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සනිටුහන් කළ පකිස්තානු ටෙස්ට් තරගාවලියේ, ගාල්ලේ පැවති පළමු තරගය ජයග්‍රහණය කරා මෙහෙය වූ ආකාරය සිහිපත් කරනු කැමැත්තෙමි. අඩු පන්දුවාර සංඛ්‍යාවකින් ජයග්‍රහණය සඳහා ලකුණු 99ක් අවශ්‍ය වූ මොහොතක, අයහපත් ආලෝකය මෙන්ම වර්ෂාව ද පරදවමින් ඔබ එල්ල කළ ජයග්‍රාහී පහර කිහිපය ද මට අද මෙන් මතකය.

නායකත්වය භාර ගැනීමට පෙර වුවත්, මෙල්බර්න් පිටියේ ප්‍රාතිහාර්යය ලෙස විචාරකයන් හැඳින්වූ තරගයේ ලසිත් මාලිංග සමග එක්ව පරාජයේ මරු කටින් කණ්ඩායම බේරා ගත් අයුරු නම් මට මෙන්ම බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ මතක අතර තවමත් රැඳී තිබෙනු ඇත.

2017 වසර මුල දී දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දරුණු පරාජයන් ගොන්නකට මුහුණ දී සිට ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් දෙවන පන්දු වාර 20 ක්‍රිකට් තරගයේ අවසන් පන්දු වාර කිහිපය, කණ්ඩායම වෙනුවෙන් ඔබගේ කැපවීම පෙන්වන කැඩපතක් බඳු ය. ලකුණක් සඳහා පැති මාරු කර  ගන්නට හෝ නොහැකි තරම් පාදයේ ආබාධයකට ලක්ව සිටි ඔබ, තනි කකුලකට වාරු දෙමින් අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර දෙක තවමත් මගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙද්දී, විස්තර විචාරයේ යෙදෙමින් සිටි පොමී එම්බන්ගුවා විශ්මයට පත්ව ”කැප්ටන් මයි කැප්ටන්” යනුවෙන් මොර දුන් ආකාරය තවමත් මගේ දෙසවන තුළ පිලි රැවු දෙයි.  

ඉතිහාසයේ නොවූ විරූ දස්කම් වෙත කණ්ඩායම මෙහෙයවීමට සමත් වෙද්දී විචාරකයන් හට ‘කැප්ටන් මාවල් ‘ (ආශ්චර්යමත් නායකයා) බවට පත් වූ ඔබගේ අගය මෙරට බහුතර ජනතාවට අමතකව යන්නට වැඩි කාලයක් අවශ්‍ය  වූයේ නැත. වරින් වර පාදයේ ආබාධය ඔබ පෙළෙද්දී, ඔබගේ යෝග්‍යතාව පිළිබඳ ගරහමින් ෆේස් බුක් පිටු පිරවූ ක්‍රීඩාලෝලීන් යැයි කියා ගන්නා පිරිසට ඔබ 2013 සිට 2015  දක්වා කණ්ඩායම වෙනුවෙන් එකදු තරගයක් හෝ මග නොහැර ක්‍රීඩා කළ බවත්, එම කාලයේ  ලෝකයේ වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතර ඔබ ඉදිරියෙන්ම පසු වූ බවත් අමතක විය.

ක්‍රීඩාවේ විශිෂ්ටයන් ලෙස සලකනු ලබන ක්‍රීඩකයන් විශ්‍රාම ගෙන කණ්ඩායමෙන් යම්තාක් දුරකට වෙද්දී, දිගින් දිගටම ලැබුණු පරාජයන් කිහිපයක් සමඟින් ඔබේ හෙවණැල්ල පවා ඇදට පෙනෙන්නට පටන් ගත්තේ දෙතුන් දෙනෙකුට පමණක් නොවේ. මිනිසාගේ පරම ස්වාධීන අයිතියක් වන තම ආගමික විශ්වාස අනුව යමින් ඔබ පිරිත් නූලට අත නොතැබීම ද ෆේස් බුක් ප්‍රබුද්ධයන්ට ගැටලුවක් විය. සියල්ලට අමතරව ක්‍රිකට් බලධාරීන් පිනවීමේ පීඩනය ද ඇතුළු සියලු පීඩනයන් තනිව දරාගෙන සටන් වැදුණු ඔබගේ ක්‍රිකට් ජීවිතයේ කණගාටුදායකම අවස්ථාවක් වූ සිම්බාබ්වේ එක්දින තරගාවලි පරාජයෙන් පසු ඔබ නායකත්වයට සමු දෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැන් ස්වර්ණමය යුගයක් උදා වනු ඇති බවට අනාවැකි කියූහ.

උපුල් තරංගටත්, තිසර පෙරේරාටත්, නායකත්ව පත්වීම් ලැබෙන විට උදම් වූ සමාජ ජාලා මාධ්‍ය ක්‍රීඩා ප්‍රබුද්ධයන් සිය මතය කණපිට හරවන්නට අතිශයින් ඉක්මන් විය. පරාජයේ රැල්ල නැවතුණේ නැත, ඇනුම් බැනුම් නැවතුණේ ද නැත.

නව පුහුණුකරුවෙකු යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නව මගකට යොමු කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් නැවත ශ්‍රී ලංකා එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් නායකත්වයට පත්ව තිබේ. ඔබගේම වචන ඇසුරෙන් කිවහොත් කණ්ඩායමට අවශ්‍ය හෝරාවේ පිටු පෑමට නොහැකි නිසා දමා ගිය නායකත්වය නැවත භාර ගැනීමට මැතිව්ස් ඉදිරිපත් වී ඇත. දසතින් ‘සුබ’පැතුම් ගලා එමින් තිබේ. මම ද ඊට සුබ පැතුමක් එක් කරමි.

මගේ සුබ පැතුම තවත් දහසකුත් එකක් සුබ පැතුම් අතරේ සැඟවී ගිය ද කම් නැත. නමුත් එය තවත් එක සුබ පැතුමක් නොවේ. මගේ ප්‍රාර්ථනය, ආසිරි ගී මැද දෙවන ඉනිම ආරම්භ කරන ඔබගේ නායකත්ව ජීවන මං පෙත මලින් සදන්නට පිළින දෙන බොහෝ දෙනෙකුගේ සුරංගනා කතා තණ අග පිණිබිඳු බව තේරුම් ගැනීමට ඔබට හැකිවේවා! යන්නයි.

මීට,

ක්‍රීඩාලෝලියෙක් (ප්‍රබුද්ධ සමාජ ජාල මාධ්‍ය ක්‍රීඩා විචාරකයෙක් නොවේ.)


පසුව ලියමි.

ක්‍රීඩකයන්ට ෆේස් බුක් භාවිත කරන්නටත් පුහුණුවීම් අතරතුර සින්දු අහන්නටත් හතුරුසිංහ පුහුණුකාර තුමා  සීමා පැනවීම හොඳ ය. ෆේස් බුක් නොගොසින් සිටියහොත් එහි රජ කරන ප්‍රබුද්ධ විචාරකයන්ගේ විශේෂඥ අදහස්වලින් හිස අවුල් කර නොගෙන සිටිය හැකිය. නමුත් යන එන ගමන් හෝ ගීතයක් අසන්නට අවස්ථාව ලැබුනොත් නන්දා මාලනිය ගයනා කරන මේ ගීතයටත් ඉඳ හිට හෝ සවන් දෙන්න.

”පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ”

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<